ලොව වෙනුවෙන් ඇය

සැප්තැම්බර් 29, 2022

ප්‍රියංකා චොප්රා බොලිවුඩය, හොලිවුඩය සේම දැන් සිඟිති දියණියකගේ මවක ලෙසින්ද ගත කරන්නේ අතිශය කාර්යබහුල දිවියක්. දියණිය මල්ටි මාරි වෙනුවෙන් ඇය පසුගිය කාලය කැප කළේ සියලු කටයුතුවලින් දුරස් වෙමින්. ඇය පසුගිය සතියේ යුනිසෙෆ් නියෝජිතවරියක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මන්ත්‍රණයකදී කතා කළාය. එහිදී ඇය කියා සිටියේ " සාධාරණ ලෝකයක පදනම ආරක්ෂා කර ගැනීමට සියලු නායකයන් එක්වීම වැදගත්" බවයි.

"අපි අද මුණගැසෙන්නේ අපේ ලෝකයේ තීරණාත්මක අවස්ථාවකදීයි. කොරෝනා වසංගතයේ විනාශකාරී බලපෑමෙන් පසු රටවල් අඛණ්ඩව අරගල කරන විට ගෝලීය සහයෝගීතාවය වඩා වැදගත් වන මොහොතකි. ගැටුම් උග්‍ර වන විට අර්බුදය ජීවිතවලට බලපායි. දිළිඳුකම, අවතැන් වීම, කුසගින්න සහ අසමානතාවයන් සාධාරණ ලෝකයක පදනම විනාශ කරයි. අපි කවුරුත් දන්නා පරිදි අපගේ ලෝකයේ සියල්ල යහපත් නැත. මේ අර්බුද අහම්බයකින් ඇති වූවක් නොවේ. නමුත් ඒවා සැලසුමකින් විසඳාගත හැකියි. එම සැලැස්ම අපට තිබෙනවා" ප්‍රියංකා පැවසුවාය. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක, ලෝකයට කළ යුතු දේ ලැයිස්තුවක් සිය දේශනයේදී ඇය ඉදිරිපත් කළාය. ඇය සිය දේශනය අවසන් කළේ මෙලෙසිනි. "අපේ ඉරණම හැඩගස්වා ගැනීමට ඔබ වෙනුවෙන් මම එඩිතර වෙමි. සියල්ලටම වඩා, ලෝකය ශ්‍රේෂ්ඨ කිරීමට හැකි වන පරිදි යහපත කිරීමට මම එඩිතර වෙමි"