වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සල්මන් ඛාන් ඝාතන තැතක්

පසුගියදා දිල්ලි පොලිසිය හෙළිදරව්කර සිටියේ බොලිවුඩයට කම්පන සහගත පුවතකි. සල්මන් ඛාන් ඝාතන සැලසුමකි. මේ බව හෙළි වී තිබෙන්නේ දිල්ලි විශේෂ කොට්ඨාසය සහ පන්ජාබ් පොලිසිය විසින් පන්ජාබි ජාතික ගායක සිධූ මූස්වාලා ඝාතනයේ ප්‍රධාන චූදිතයා වන ලෝරන්ස් බිෂ්නෝයි ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සමඟිනි. එහිදී සල්මන් ඛාන් ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කළ ආකාරය පිළිබඳ අනාවරණය කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
ලෝරන්ස් බිෂ්නෝයිගේ කල්ලිය සල්මන් ඛාන් ඝාතනය කිරීමට උත්සාහ දෙකක් ගෙන ඇති අතර පළමු උත්සාහය අසාර්ථක වූ පසු ඔවුන් දෙවැනි සැලැස්මක්ද සකස් කර තිබූ අයුරු පාපොච්චාරණය කර ඇති බවද එම වාර්තා අනාවරණය කර සිටී. තවද මූස්වාලා ඝාතනයට පෙර මෙම සැලසුම සකස් කර ඇති බව වාර්තා වේ. මෙම සැලසුම මෙහෙය වූ කපිල් පණ්ඩිත් නම් පුද්ගලයා පසුගියදා මූස්වාලා නඩුවේදී දිල්ලි විශේෂ කොට්ඨාසය සහ පන්ජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
බොලිවුඩ් පුවත් ගෙන එන පරිදි පන්ජාබ් සහ දිල්ලි පොලිසිය පවසා තිබෙන්නේ මෙම ඝාතන සැලසුම වෙනුවෙන් සැකකරුවන් මෙම වසරේ ජනවාරි මාසයේ සිට සල්මන් ඛාන්ගේ පන්වෙල්හි ගොවිපොළ අසල කාමරයක් කුලියට ගත් බවත් ඔහුගේ ගමන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ගොවිපළේ ආරක්ෂක නිලධාරීන් සමඟ මිත්‍ර වී ඇති බවයි. ගොවිපොළ වෙත යන මාර්ගය බොහෝ සෙයින් අබලන් වී ඇති හෙයින් සල්මන් තම වාහනය සෙමින් පදවා ගෙන බැවින් ඒ අසල ඔහුගේ රසිකයන් මෙන් පෙනී සිට මෙම ඝාතනය කිරීම ඝාතකයන්ගේ අරමුණ වී ඇත. අප්‍රේල් මාසයේදී සල්මන් ගොවිපොළ වෙත දෙවතාවක් පැමිණ ඇති නමුත් ඝාතනයන් හට එම අවස්ථා දකෙම මඟහැරී ඇත.