ජැක්ලීන්ගේ සිත ගත් මිනිසා

සැප්තැම්බර් 22, 2022

පසුගිය වසරේදී ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් හට රටින් පිටවීමට තහනම් පනවන ලද්දේ සුකේෂ් චන්ද්‍රශේකර් නම් පුද්ගලයා විසින් කරන ලදැයි පැවසෙන කප්පම් ගැනීම් සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙනි. සුකේෂ් චන්ද්‍රසේකර් හට ව්‍යාපාරිකයෙකුගේ බිරියකගෙන් රුපියල් කෝටි 200ක කප්පම් මුදලක් ගත් බවට චෝදනා එල්ල විය. සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ එම දූෂිත මුදල් ගනුදෙනුවට ජැක්ලීන්ගේ නමද ඇතුළත් වී තිබීම මෙම තහනමට හේතු විය.

සුකේෂ් චන්ද්‍රසේකර් සහ ජැක්ලීන් අතර මූල්‍ය ගනුදෙනු පිළිබඳ කරුණු රැසක් ඉන්දීය බලධාරින් විසින් අනාවරණය කර ගෙන ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජැක්ලීන් හැරුණු විට ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් රංගන ශිල්පිනී නෝරා ෆතේහි ද විමර්ශනයට කැඳවන ලදී. පසුගිය සතියේදී ද පැය අටකටත් වැඩි කාලයක් පුරා මේ සම්බන්ධ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු විය. කෙසේ වෙතත් ජැකලින් සහ නෝරා දෙදෙනාම මුදල් විශුද්ධිකරණ සිද්ධියට සෘජුව සම්බන්ධ නැති බව හෙළි වී තිබේ. නමුත් ඔහුගේ අපරාධ හෙළිදරව් වීමෙන් පසුව පවා ජැකලින් ඔහු සමඟ නිරන්තරයෙන් සම්බන්කම් පවත්වා ඇති බව වාර්තා හෙළි කර තිබේ.

ඒ සමඟ නවතම බොලිවුඩ් වාර්තා ගෙන එන්නේ ජැක්ලින් සුකේෂ් සමඟ විවාහ වීමට පවා අදහස් කර ගෙන සිටි බවයි. අවස්ථා ගණනාවකදී සුකේෂ් චන්ද්‍රසේකර් විසින් මිල අධික ත්‍යාග රැසක් ජැක්ලීන් වෙත පිරිනමා ඇති බවට සඳහන් වේ. රුපියල් ලක්ෂ 52 ක් වටිනා අරාබි අශ්වයෙකු සහ රුපියල් ලක්ෂ 9 බැගින් වටිනා පර්සියානු බළලුන් තිදෙනෙකු සමඟින් එම ත්‍යාගවල වල මුළු වටිනාකම රුපියල් කෝටි 10 ක් බව පැවසේ.

කෙසේ වෙතත්, නෝරා ෆතේහි කිසි දිනෙක සුකේෂ් චන්ද්‍රසේකර් පෞද්ගලිකව මුණගැසී නොමැති නමුත් වට්ස්ඇප් ඔස්සේ දෙවතාවක් සම්බන්ධ වී ඇත බවද පරීක්ෂණවලින් තහවුරු වී ඇත. අපරාධ අංශය නෝරා හා ඇගේ මස්සිනා වන මෙහ්බූබ් හෙවත් බොබී ඛාන් සහ පිංකි ඉරානි ගෙන්ද ප්‍රශ්න කළේය. සුකේෂ් චන්ද්‍රසේකර්ගේ මඟපෙන්වීම මත මිල අධික ත්‍යාග රැගෙන නෝරා වෙත ළඟා වූයේ ඉරානි බව වාර්තාවේ දැක්වේ. සුකේෂ් හට අයත් චෙන්නායි චිත්‍රාගාරයක පැවති උත්සවයකට සහභාගී වීමට ඇයට ආරාධනා කර සහභාගී වීමේ ගාස්තුවක් සහ බීඑම් ඩබ්ලිව් මෝටර් රථයක් පිරිනමා ඇත. නමුත් ප්‍රශ්න කිරීමේදී නෝරා ෆතේහි හෙළි කර තිබෙන්නේ ඇය ත්‍යාගය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් එම ත්‍යාග බොබී ඛාන් හට දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත්ය.