මැණිකේ බොලිවුඩ් රිදී තිරයේ

සැප්තැම්බර් 22, 2022

ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්ෂණය කළ 'තෑන්ක් ගෝඩ්' හින්දි චිත්‍රපටය ලබන ඔක්තෝබර් 25 වැනිදා තිරගතවීමට නියමිතය. එහි පළමු ගීතය "මැණිකේ" මාධ්‍ය වෙත පසුගිය සතියේ නිකුත් කෙරුණි. බොලිවුඩ් චිත්‍රපටයක් වුවත් "මැණිකේ" ගීතය සමඟ මෙය අපේ රටටද විශේෂ වේ. එය ඉතා ප්‍රසිද්ධ කරුණකි.

සතීෂාන් රත්නායකගේ මුල් ගායනයෙන් ප්‍රතිනිර්මාණය කර යොහානි ද සිල්වා විසින් ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතයට මිලියන ගණනක් දෙස් විදෙස් රසික හදවත් දිනාගැනීමට වැඩි කාලයක් ගත නොවීය. දුලාන් ඒආර්එක්ස් පද රචනය කළ "මැණිකේ මගේ හිතේ" ගී තනුව චමත් සංගීත් ගෙනි. "මැණිකේ මගේ හිතේ" සිංහල බසින් සේම මලයාලම්, දෙමළ සහ හින්දි භාෂාවන්ගෙන්ද ප්‍රතිනිර්මාණය වී තිබේ.

'තෑන්ක් ගෝඩ්' චිත්‍රපටය ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සංගීත තැටි සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ටී - සීරිස් ආයතනයේ නවතම නිෂ්පාදනයයි. 'තෑන්ක් ගෝඩ්' හින්දි චිත්‍රපටය වෙනුවෙන් මැණිකේ ගීතය ප්‍රතිනිර්මාණය කිරීමේ දී එහි තනු නිර්මාණය වෙනුවෙන් ටී සීරිස් ආයතනය චමත් සංගීත්ගේ දායකත්වයද ලබා ගෙන තිබේ. සිදාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆතේහි විසින් නිරූපණය කරන ලද නර්තනය වෙනුවෙන් මැණිකේ ගීතය ගායනා කිරීමට යොහානි සමඟ ජුබීන් නෞටියාල් සහ සූර්යා රගුනාදන් එක් වෙති.

මේ පිළිබඳ අදහස් දක්වමින් ටී - සීරිස් ආයතන ප්‍රධානී, නිෂ්පාදක භූෂන් කුමාර් මෙසේ පැවසීය. "යොහානි වැනි දක්ෂ යොවුන් සංගීත ශිල්පිනියක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම සේම ඉන්දියානු රසික රසිකාවන් සඳහා ඇගේ පළමු ගීතය වන" මැණිකේ මගේ හිතේ" ඉදිරිපත් කිරීම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු. මෙය සියලුම ඉන්දියානු රසික සිත් ඇදගන්නා සුළු ගීතයක් වනු ඇත". තෑන්ක් ගෝඩ් හි අජේ දේව්ගන්, රකුල් ප්‍රීත් සිං සහ සීමා පහ්වා ද රංගනයෙන් දායක වෙති.

"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද යොහානි බොලිවුඩයට පිවිසියේ කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ 'ශිද්දත්' හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනය සමඟිනි. 'ශිද්දත්' චිත්‍රපටය ටී - සීරිස් ආයතනයේ නිෂ්පාදනයකි.