සත්‍යප්‍රේම් කී කතා

සැප්තැම්බර් 15, 2022

කියාරා අද්වානි මේ වන විට බොලිවුඩයේ ප්‍රමුඛ පෙළේ නිළියක බවට පත් වී සිටී. ඇය බොලිවුඩයට පිවිසියේ 2014 වසරේ ෆග්ලි චිත්‍රපටය සමඟිනි. 2016 වසරේ තිරගත වූ එම්එස් දෝනි : දි අන්ටෝල්ඩ් ස්ටෝරි චිත්‍රපටය සමඟින් ඇය ප්‍රසිද්ධියට පත් වූ අතර, මියගිය සුෂාන්ත් සිං රාජ්පුත් සහ දීෂා පතානි සමඟින් එහි රංගනයෙන් දායක වූවාය. කියාරා මේ වන විට මෑතකදී නිකුත් කරන ලද ත්‍රාසජනක හාස්‍යජනක චිත්‍රපටය වන භූල් භුලයියා 2 හි සාර්ථකත්වයේ සතුටින් සිටින අතර එය මෙතෙක් මෙම වසරේ දෙවන වැඩිම ආදායමක් උපයාගත් හින්දි චිත්‍රපටය බවට පත් වී ඇත.

කියාරා භූල් භුලයියා 2 හි සාර්ථකත්වය ගැන මෙසේ පැවසුවාය. "වසංගත සමයේදී පවා අපි වසර තුනක් ඒ සඳහා වැඩ කළා. ප්‍රතිඵලය ගැන හැමෝම සතුටු වුණා". කාර්තික් ආර්යන් සමඟ රංගනයෙන් දායක වූ භූල් භුලයියා 2 හැරුණු විට කියාරාගේ නවතම චිත්‍රපටය, වරුන් ධවාන්, අනිල් කපූර් සහ නිතු කපූර් රංගනයෙන් දායක වූ ජග් ජග් ජියෝ ද සාර්ථක විය.

මේ අතර කියාරා සත්‍යප්‍රේම් කී කතා සඳහා කාර්තික් සමඟ නැවත හමුවනු ඇත. මෑතකදී සඟරාවක් සමඟ සාකච්ඡාවකදී ඇය කාර්තික් ආර්යන් සමඟ වැඩ කිරීම ගැන කතා කළාය. "වාසනාවකට මෙන් අපි දෙදෙනාගේ රංගනය භූල් භුලයියා 2 චිත්‍රපටයේදී සාර්ථක වුණා. අපි ආරම්භ කළේ ඉතා හොඳ සටහනකින්. අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් මේ මස අගදී ආරම්භ කරන්න සූදානම්. ආර්යන් සමඟ නැවත වරක් වැඩ කිරීමට ලැබීම ගැන මම සතුටුයි. එය ආදර කතාවක්". සජිඩ් නදියද්වාලා විසින් නිෂ්පාදනය කෙරෙන මෙම චිත්‍රපටය ලබන වසරේ ජුනි 29 වැනි දින සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිතය.