පළමු වැටුප

සැප්තැම්බර් 15, 2022

 

රන්බීර් කපූර් මේ දිනවල බොලිවුඩයේ ඉහළ අවධානයක් දිනා සිටින තරුවක් බවට පත් වී සිටී. ඔහු ඉන්දියාවේ ප්‍රථම සිනමා පවුල ලෙස සැලකෙන ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් පැවත එන කපූර් පවුලේ සිව්වැනි පරම්පරාවෙන් බොලිවුඩය දිනූ තරුවකි. ජනප්‍රිය නිළි ආලියා භාත් සමඟ විවාහය. ශම්ෂේරා සහ බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපට මෙන්ම ඔවුන් දෙදෙනා මාපිය පදවි ලැබීමට සූදානමින් සිටීම මේ දිනවල ඔහු පිළිබඳ විශේෂ අවධානයට හේතු වූ කාරණා වේ. මේ අතර මෑතකදී රන්බීර් අතීතයේ සොඳුරු මතකයක් සිහිපත් කළේය. ඒ ඔහු ඔහුගේ පළමු වැටුප සහ එයින් කළ දේ ගැනයි.

රන්බීර් සිය පළමු වැටුප ලැබූයේ 1996 වසරේ තිරගත වූ ප්‍රේම් ග්‍රාන්ත් චිත්‍රපටයෙනි. ප්‍රේම් ග්‍රාන්ත් රිෂී කපූර්ගේ බාල සොයුරා වන රාජිව් කපූර්ගේ අධ්‍යක්ෂණයකි. එහි රිෂී කපූර් සමඟ මධුරි ඩික්සිත් රංගනයෙන් දායක විය. රන්බීර් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී අධ්‍යක්ෂ රජිව් කපූර් හට (පියාගේ බාල සොයුරා) සහාය විය. ඒ වෙනුවෙන් රන්බීර්ට රුපියල් 250ක් (ඉන්දීය රුපියල්) ලැබිණි.

මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඔහුගේ පළමු වැටුප ගැන විමසූ විට, රන්බීර් පැවසුවේ, "මගේ පළමු වැටුප ප්‍රේම් ග්‍රාන්ත් වෙනුවෙන් සහාය වීමේදී මට ලැබුණු රුපියල් 250 යි. යහපත් පිරිමි ළමයකු මෙන්, මම මගේ මවගේ කාමරයට ගොස් එය ඇය අතෙහි තැබුවෙමි. ඇය ඒ දෙස බලා හඬන්නට වූවාය. එය මා රඟ පෑ චිත්‍රපටමය අවස්ථාවන් ගෙන් එකකි" යනුවෙනි.