චන්ද්‍රන් රත්නම්ගෙන් කෙටි චිත්‍රපට තරගයක්

සැප්තැම්බර් 15, 2022

ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන ගිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන්‍ රත්නම් සමඟ එක්ව Future Lanka Research and Development  ආයතනය විසින් පාසල් සිසුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමත්, මෘදු කුසලතා දියුණු කිරීමත් යන අරමුණු පදනම් කරගෙන අන්තර් පාඨශාලීය කෙටි චිත්‍රපට තරඟාවලියක් සංවිධානය කරන ලදී.

මෙහි සමාරම්භක උත්සවය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්විණි. මේ අවස්ථාවට චන්ද්‍රන් රත්නම් ප්‍රමුඛ චිත්‍රපට කර්මාන්තයේ නියැළෙන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් තුන්සියයකට අධික පිරිසක් සහභාගි විය. කෙටි චිත්‍රපට තරඟාවලියට අදාළ ආරාධිත දේශනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන විසින් පවත්තවන ලදී. තරඟාවලිය සඳහා පාසල් සියයකට අධික සංඛ්‍යාවක් තරඟ වැදීමට නියමිත ය. තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග, වටිනා සහතිකපත් සහ අන්තර්ජාතික ලෙස චිත්‍රපට නිෂ්පාදනය හා එක්ව පුහුණු වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට ද අවස්ථාව හිමිවනු ඇත. තවද මෙම ජයග්‍රාහකයන්ට අනාගතයේදි ඔවුන්ගේ නිර්මාණ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදනයන් ද, විශ්වවිද්‍යාල ජාලය හරහා පූර්ණ ශිෂ්‍යත්වයන් Future Lanka Research and Development පදනම මඟින් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇත. මේ සියල්ල අවසානයේ දී අන්තර්ජාතික මට්ටමේ නව සිනමාකරුවන් පිරිසක් රටට දායාද කිරීම මෙහි අරමුණවේ.

දරුවන්ගේ හැකියාව හඳුනාගෙන ක්‍රමානුකූලව ස්ථානගත කිරීම මෙහි අරමුණකි. අන්තර්ජාතික මට්ටමින් ප්‍රවීණයන් මඟින් එම දරුවන්ට අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම් ලබා දීමට කටයුතු කරනු ඇත. මේ සදහා උනන්දු වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් මේ තරඟාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමි කර දී ඇත.