‘ද නිව්ස්පේපර්’ ට තවත් අන්තර්ජාතික සම්මානයක්

සැප්තැම්බර් 15, 2022

රුසියාවේ ටටස්තාන් ජන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උලෙළේ (Kazan International Muslim Fim Festival)  18 වෙනි අදියර පසුගිය 11 වැනිදා රාත්‍රියේදී පෞරාණික කසාන් නුවර පිරමීඩ් සංකීර්ණයේදී අති උත්සව ශ්‍රීයෙන් නිමාවිය. එහිදී කාන්, ලන්ඩන්, බූසාන් ආදී ලෝ ප්‍රකට සිනමා උලෙළ නියෝජනය කළ සිනමාපට ඇතුළුව පසුගිය දෙවසර තුළ අන්තර්ජාතික ඇගැයීමට ලක්වූ සිනමාපට 10 කින් සමන්විත වූ උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශයේ “හොඳම නළුවා”ට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වුණු සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත්වූහ.

2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ කසාන් සිනමා උලෙළේ ශ්‍රී ලාංකේය සිනමාපටයක් සම්මානයකින් පිදුම් ලද දෙවැනි අවස්ථාව මෙය වූ අතර මීට පෙර 2018 වර්ෂයේදී සමීර නාඔටුන්නගේ “මෝටර් බයිසිකල්” සිනමාපටය “රුසියානු සිනමා විචාරක සංසදය” විසින් පිරිනමන ස්වාධීන ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. එහෙත් උලෙළේ ප්‍රධාන ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් හිමිකම් කියූ පළමු අවස්ථාව “ද නිවුස්පේපර්” හරහා සටහන් වීම අගය කළ යුතු වේ. කසාන් උලෙළ නියෝජනයට වරම් ලද සිව්වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය “ද නිවුස්පේපර්” විය. එහිදී “මෝටර් බයිසිකල්” හා “ද නිව්ස්පේපර්” ප්‍රධාන තරගකාරී අංශය (Full Length Feature Competition)  යටතේද, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” (2017 දී) සහ මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” (2018 දී) තරගයෙන් බැහැර වූ අංශය  (Out of Competition) යටතේද උලෙළේ තිරගත විය.

ෆිඇප්ෆ් (FIAPF) අනුමැතිය හිමිවූ ඉන්දියාවේ බෙංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළේදී දෙවෙනි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානයෙන් (Second Best Asian Film) “ද නිවුස්පේපර්” චිත්‍රපටය පිදුම් ලැබීමත් සමඟ, සෙසු අන්තර්ජාතික සිනමා උලෙළවලදී “ද නිව්ස්පේපර්” චිත්‍රපටය වෙත විශේෂ අවධානයක් හිමි විය. එහෙයින් මේ දක්වා “ද නිවුස්පේපර්” චිත්‍රපටය නියෝජනය කළ සියලුම අන්තර්ජාතික සිනමා උලෙළ වලදී සම්මානයකින් පිදුම් ලැබීමට හෝ සම්මාන‍යක් සදහා නිර්දේශ වීමට හෝ “ද නිවුස්පේපර්” සමත්ව තිබීම සුවිශේෂි අවස්ථාවකි. කසාන් උලෙළේදී ලද සම්මානයත් සමඟ මේ වනවිට අන්තර්ජාතික උලෙළවලදී “ද නිවුස්පේපර්” දිනා ඇති සමස්ත අන්තර්ජාතික සම්මාන සංඛ්‍යාව 08 ක් වේ.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී.ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ සමඟ නිෂ්පාදනය කළ “ද නිවුස්පේපර්”, රුසියාවේ කසාන් සිනමා උලෙළට නිර්දේශ කිරීම හා සම්බන්ධීකරණය සිදු කරන ලද්දේ යු. එල්. කේ. ෆිල්ම්ස් පෞද්ගලික සමාගම විසිනි. සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරට හිමිවූ “හොඳම නළුවා” සම්මානය කසාන් සිනමා උලෙළේ සංවිධායක මඬුල්ලේ ඇරැයුමෙන් උලෙළේ සමාප්ති උලෙළට සහභාගි වූ “ද නිවුස්පේපර්” චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් භාරගන්නා ලදී.