වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
ඈත් වුණත් මා මතකේ රැඳේ

රුක්මණී දේවිය සමඟ සිවම්මා ධනපාල නාට්‍යයේ රඟපාන්නට ලැබීම මගේ ජීවිතයේ ලබපු විශාල භාග්‍යයක්
කැලණියේ වරාගොඩ විසූ බොරැල්ල රජයේ මුද්‍රණාලයේ පෝමන්වරයකු ලෙස සේවය කළ සරනේරිස් ෆොන්සේකාට සහ බිරිඳ සීලවතී ෆොන්සේකාට දරුවන් එකොළොස් දෙනෙකි. වැඩිමහල් දියණිය හෙළ සිනමාවේ අග රැජිනිය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ය. දරුවන් එකොළොස් දෙනාගෙන් පස් දෙනෙක්ම සිනමාවට දායාද කරන්නට ඇගේ මව පසුබට වූයේ නැත. මාලිනී, ආනන්ද, ශි‍්‍රයාණි, රසාදරී සහ දමයන්ති යන ඒ් සිව් දෙනා සිය අක්කා මාලිනියගේ අඩි පාරේ යමින් හෙළ සිනමාවේ නම රැන්දූ රංගන ශිල්පිනියන් ය.
ෆොන්සේකා පවුලේ අට වැනි දියණිය පවුලේ වැඩිමහල් දියණිය වූ මාලිනී අක්කා මෙන් රුවැත්තියකි. රූප ස්වභාව පමණක් නොව කලා කෞශල්‍යයන්ගෙන් හෙබි තැනැත්තියක ද වූවාය.
1968 තිරගත වූ තිස්ස ලියනසුරිය අධ්‍යක්ෂණය කළ පුංචි බබා සිනමා සිත්තම සිංහල සිනමාවේ සන්ධි ස්ථානයක් ලෙස සැලකිය හැක්කේ එය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නමැති සිංහල සිනමාවේ නිළි රැජින සිනමාවට හඳුන්වාදුන් චිත්‍රපටය වීමත් සමඟය.
පුංචි බබා චිත්‍රපටියේ මාලිනිය මනමාලිය වූ දා ඇගේ වේල් පොට අල්ලා ගෙන ගිය වයස අටක් පමණ සිඟිති මල් කුමරිය ඔබට මතක ඇති දෛවයේ හාස්කමකින් අක්කාගේ මල් කුමරිය ලෙස පැමිණි මාලිනියගේ එක කුස උපන් සොහොයුරිය ශි‍්‍රයාණි පත්මලතා ෆොන්සේකාගේ සිනමාවේ ප්‍රවේිශය වූයේ ද පුංචි බබා චිත්‍රපටය. පවුලේ 8 වැනියා වූ ශි‍්‍රයාණි පවුලේ තුන් වැනියා වූ මාලිනියට වඩා වසර ගණානවකින් ළාබාලය.
අද සරසවිය හා පිළිසඳරට ලන්ඩන් නුවර සිට එක් වන්නේ ෆොන්සේකා පවුලේ අට වැනි දියණිය වූ ශ්‍රියාණි පත්මලතා ෆොන්සේකාය.
ඔබ සිනමාවෙන් ඉවත් වී දැනට වසර හතළිහක් පමණ වනවා. ඔබටත් අක්කා මෙන් සිනමාවේ රැඳෙන්නට අවකාශ තිබුණා නේද?
මම විවාහ වුණේ එක්දහස් නවසිය අසූ දෙකේ. විවාහයට වසර දෙකකට පමණ ප්‍රථමයෙන්ම මම සිනමාවෙන් ඈත් වුණේ මගේ සැමියා මා රඟපානවට එතරම් කැමැත්තක් නොදැක්වූ නිසයි.
ඔබ රඟපෑ දෙවැනි චිත්‍රපටය හතර දෙනාම සූරයෝ එහිදී ඔබ රඟපෑවෙත් අක්කත් එක්ක නේද?
මේ දෑස මගේ පින්වන්තයි
තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි
මේ ගීතයට මම නව තරුණියෝ හතර දෙනෙක් සමඟ නර්තනයක යෙදුණා. එය සුළු චරිතයක් පමණයි. අක්කයි ප්‍රධාන චරිතය රඟපෑවේ. මා ප්‍රධාන චරිතයක් ලෙස රඟපෑවේ තිලක සහ තිලකා චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ මම රඟපෑවේ ආනන්ද අයියා, රසාදරී නංගි, කරුණාරත්න හඟවත්ත සමඟ. රසාදරී නංගී කරුණාරත්න හඟවත්ත සමඟ ආදරයට මුලපිරුවේ මේ චිත්‍රපටයේ රඟපෑමේදී වසන්තේ දවසක් චිත්‍රපටයේ මම රඟපෑවේ මාලිනී අක්කාගේ නංගීට. සුහද පැතුම චිත්‍රපටයේ අක්කාගේ යෙහෙළියක් ලෙස ද රඟපෑවා.
මතකද අනූෂා චිත්‍රපටයේ ජෝතිපාල සහ ඉන්ද්‍රාණි පෙරේරා ගැයූ ගීතයට ඔබ රෝයි ද සිල්වා සමඟ රඟපෑ පෙම් ජවනිකාව?
සරා සිහින රේඛා
පැතුම් මල් පිපිලා
නවාතැන් සොයා පෙම් හදේ
මවා ප්‍රේම ඡායා
ඔබේ දෑස පායා
කියාගන්න බෑ ආදරේ
මේ ගීතය එවකට අතිශය ජනපි‍්‍රය වූ ගීතයක්. බොහෝ රසිකයින් නිතරම මිමිනූ ගීතයක්. මේ ගීතයට මම හරියට ඇලුම් කළා. තවමත් ඒ දර්ශන පෙළ මගේ මතකයේ රැඳී තිබෙනවා.
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුණත් මා මතකේ රැඳේ
චිං චිං නෝනා චිත්‍රපටයට සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සමඟ ශි‍්‍රයාණී ෆොන්සේකා ඉදිරිපත් කළ මේ ගීතමය දර්ශනය අදටත් ප්‍රේක්ෂක මනසේ සදා ලැගුම් ගෙන ඇත.
ශි‍්‍රයාණි ෆොන්සේකා සිනමා නිළියක් පමණක් නොවේ වේදිකා නිළියක් වෙනවා. කතා කරමු ඒ පිළිබඳව?
මම වේිදිකා නාට්‍ය ගණනාවකම රඟපෑව. සුමන ආලෝක බණ්ඩාරගේ එරබදු මල් පොට්ටු පිපිලා, ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු, අමල් බිසෝ, නිදිකුම්බා, පෙට්රුකා ආදී නාට්‍ය ගණනාවක රඟපාන්නට මට වාසනාව හිමි වුණා. රුක්මණි දේවිය සමඟ සිවම්මා ධනපාල නාට්‍යයේ රඟපාන්නට ලැබීම මගේ ජීවිතය ලබපු විශාල භාග්‍යයක්. සිවම්මා ධනපාල නන්දෙස ජනපි‍්‍රය වූ වේදිකා නාට්‍යයක්. ඒ හේතුව මත එහි රඟපෑම ද ජනපි‍්‍රය වුණා.
ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක් නේද?
සෝමදාස තිත්තවල සර්ගෙන් උඩරට නැටුම් හැදෑරුවා. බැලේ එකක් කළා. එහි මාලිනී අක්කා තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ. නම රන්ද ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු නාට්‍යයට මාව තෝරා ගන්නට එක්තරා හේතුවක් වුණේ මට නර්තන හැකියාව තිබුණ නිසා. ඒ පමණක් නොවෙයි ගායන හැකියාව ද බොහෝ සෙයින් තිබුණා. මම පාසලේ උත්සවවලට ගීත ගායනා කළා.
කැලණිය ගුරුකුලේ ෆොන්සේකා කිව්වොත් නොදන්න කෙනෙක් නෑ නේද?
ඔව්. අපේ පවුල පාසැලේ හරිම ජනපි‍්‍රයයි. ලොකු අයියාගේ පටන් පවුලේ නව වැනියා දක්වා ගියේ ගුරුකුලේට. දමයන්ති සහ රසාදරී ගියේ කැලණියේ සාන්ත පාවුලු බාලිකා පාසැලට. ගුරුකුලේ ඉගෙන ගන්න කාලේ මම පාසල් වේදිකාවේ රඟපාන්නට ගියා. අපේ පාසැල ඒ දවස්වල පහසුකම් අඩුයි. පාසල දියුණු කිරීම සඳහා විවිධ වූ නාට්‍ය ප්‍රසංග පැවැත්තුවා. මේ බොහෝ ප්‍රසංග සහ නාට්‍යවලට මම රඟපෑවා. ප්‍රසංග ගීත ගායනා කළා. විශේෂයෙන්ම නර්තනයට මා තුළ තිබූ හැකියාව අරබයා සිනමාවට මෙන්ම වේදිකා නාට්‍යයට පිවිසීමට එය රුකුලක් වුණා. ඒ කාලේ දැන් වගේ නෙමෙයි මම හොඳටම කෙට්ිටුයි. ඒ අනුව නර්තනය ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් වුණා. මම සාමාන්‍ය පෙළ විද්‍යා විෂයන් හැදෑරුවේ. පසුව පාසලෙන් අස්වී රඟපෑමේ නිරත වුණා.
දරුවන් එකොළොස් දෙනකුගෙන් යුත් පවුලක ඔබේ මවට පමණක් දරුවන් රැකබලා ගැනීමට හැකියාවක් තිබුණා ද?
මගේ අම්මා ගෘහණියක් නිසා අපිව හොඳින් රැක බලා ගත්තා. පසුව මාලිනී අක්කා තරුණ කාලේ එයා අපිව බොහොම ආදරෙන් බලා ගත්තා. මට තාම මතකයි ඒ දවස්වල අපට තිබුණේ ළිඳක්. ළිඳෙන් වතුර ඇදලා අපිව නාවල අන්දලා කරලා ඉස්කෝලෙට යන්න ලෑස්ති කරන්නේ මාලිනී අක්කා. සමහර වෙලාවට අපේ ඇඳුම් පවා අක්කා සෝදලා දෙනවා. මම දන්නා තරමින් මාලිනි අක්කා අපේ පවුලේ විශාල වගකීමක් කරට ගත් කෙනෙක්. එයාගේ තරුණ කාලයේ පටන් අපිව රැකබලා ගැනීමට විශාල වෙහෙසක් දැරුවා. සමහර අවස්ථාවලදී අම්මා සමඟ මාලිනී අක්කා රූගත කිරීම්වලට යද්දී අපේ නෑදෑ කෙනෙක් වෙන ආචිච් කෙනෙක් තමයි අපිව බලා ගත්තේ. අපේ ඕනෑ එපාකම් බොහොමයක් අම්මා කෙනෙක් වගේ සොයා බැලුවේ මාලිනී අක්කා. අපි ඇයට සදා ණයගැතියි. මාලිනී අක්කයි මායි හරිම සමීපයි. අපි දෙන්නා හදවතින් බද්ධ වෙලා ඉන්නේ. මගේ දුක සැප බෙදා ගන්නේ මාලිනී අක්කත් එක්ක.
ඔබේ පුංචි සන්ධිය කෙබඳුද?
පුංචි කාලේ මම හරි කුළෑටියි. බබා කියලා කවුරුහරි කතා කළොත් මම අඬනවා. ඒ නිසා තාත්තා මට නම දාලා තිබුණේ ඤාව්වා කියලා. ගෙදර අය බොහෝ වෙලාවට කියන්නේ පූසි කියලා. මම වේදිකා නාට්‍යවල රඟපාන්න ගියාම තාත්තා අහලා තියෙනවා හැම වෙලාවෙම කඳුළු සලමින් ඉන්න ශි‍්‍රයාණිට රඟපාන්නට පුළුවන් ද කියලා. හේතුව ඒ තරම් කුළෑටි. අපේ පවුල හරිම එකමුතුයි. සිංහල අවුරුදු සමය තමයි අපේ නිවසේ තියෙන සතුටුදායකම කාල පරිච්ඡේදය. හැමෝම අම්මගෙන් එදාට බත් කටක් කන්න එනවා. අපේ පවුලේ අය එකතු වෙලා අවුරුදු කුමාරි තරඟ පවත්වනවා. අවුරුදු සෙල්ලම්, අවුරුදු උත්සව පැවැත්වීම සුලබ දෙයක්. මට තවම මතකයි දමයන්ති නංගි අවුරුදු කුමාරි වුණා. අපේ අම්මා අවුරුදු කාලේ උත්සව පවත්වන්නට සල්ලි වෙනම එකතු කර තබා ගන්නවා. සහෝදර සහෝදරියන් සමඟ කැලණියේ මහ ගෙදර ගත කළ සුන්දර ජීවිතය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒත් දැන් අපේ අම්මා තාත්තා මෙලොව අතහැර ගොසින්. මගේ අයියලා හතර දෙනාම නැතිවුණා. ඒක තමයි මට තියෙන වේදනා.
කොහොමද ඔයාගේ සැමියා මුණ ගැසුණේ?
ඔහුගේ ගම කුරුණෑගල. ඔහුගේ මව සහ සොහොයුරිය මාලිනි අක්කාගේ රසික රසිකාවියෝ. වසන්තයේ දවසක් චිත්‍රපටයේ ෂූටිං කරන්නට කුරුණෑගල ගිය අවස්ථාවේ අක්කා බලන්න මගේ මහත්තයාගේ අම්මා සහ අක්කා පැමිණ සිටියා. ඔවුන් සමඟ මගේ මහත්තයත් පැමිණියා. එතැන දී දැකලා තමයි අපේ සම්බන්ධයට මුල පිරුවේ. අවුරුදු පහක් ආදරේ කරලා 1982 අපි විවාහ වුණා. ජයන්ත මෙන්ඩිස් ඔහු ව්‍යපාරිකයෙක්. විවාහයෙන් පසුව අපි කැලණියට කුලී නිවසක පදිංචියට ආවා. දරුවන්ව කොළඹ පාසල්වලට දාගන්න අවශ්‍ය නිසා. මට දරුවෝ තුන් දෙනෙක් සිටිනවා. මගේ පුතා කොල්ලුපිටියේ සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලැබුවේ. මගේ දුව හංසිනී සහ උඳුරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයේ. මගේ දියණියන් දෙදෙනාම සහ පුතා විවාහ වෙලා. දියණියන් දෙදෙනා සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. පුතා ලන්ඩන් නුවර අපේ නිවෙසට ඉතා කිට්ටුවෙන් ඉන්නේ. පුතාටත් දරුවෝ දෙන්නෙක් සිටිනවා. මම දැන් ආච්චි කෙනෙක්. පුතා පරිගණක ඉංජිනේරුවරයෙක් දුවලා දෙන්නම උපාධිධාරීන්
ඔබ ලන්ඩන් නුවර රැකියාවක නිරත වුණා ද?
මම නර්සිං හෝම් එකක රැකියාව කළා. මගේ සැමියා ලන්ඩන් නුවර පරිගණක මධ්‍යස්ථානයක රැකියාව කළා. දැන් අපි දෙන්නම විශ්‍රාමිකයි. මගේ පුතා එයාගේ දරුවන් එක්ක නිතරම අපේ ගෙදර එනවා. ඇත්තටම දැන් අපි මුනුබුරු මිනිබිරියන්ගේ සුරතල් බලමින් සතුටින් ජීවත් වෙනවා. ඒ අත්දැකීම් හරිම සුන්දරයි.
ලංකාවේ ඉන්න සහෝදර සහෝදරියෝ ශ්‍රියානි බලන්න එන්නේ නැද්ද?
ආවා මගේ බාල දියණියගේ විවාහ මංගල උත්සවයට මාලිනී අක්කා, කල්‍යාණි, දමයන්ති, තුන්දෙනාම ආවා. දැන අවුරුද්දකට වතාවක් වගේ මාලිනී අක්කා එනවා මාව බලලා යන්න. අක්කයි මායි හරිම සමීපයි. ඒ විතරක් නෙමෙයි පවුලේ සහෝදර සහෝදරියෝත් මට හරිම සමීපයි. නිළි රැජින මගේ අක්කා වීම ගැන මම ආඩම්බර වෙනවා.