11 වැනිදා දේවදූතයෙක් එයි

සැප්තැම්බර් 8, 2022

 

භූතානයේ ච්අඋම් අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උලෙළේ සම්මාන ත්‍රිත්වයක් (හොඳම පවුලේ චිත්‍රපටය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, ජූරියේ විශේෂ සම්මානය) හිමිකරගත් ‘ආවා දේවදූතයෙක්‘ ළමා චිත්‍රපටය ජානකී හිල් ගේ නිෂ්පාදනයෙන් සහ සමන්ත විජේසිංහගේ අධ්‍යක්ෂණයෙන් යුතුව අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ ඉදිරිපත් කිරීමකි.

සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ලබන සැප්තැම්බර් 11 වන දින සවස 2.00ට මේ චිත්‍රපටයේ මංගල දර්ශනයද සවස 6.00ට මහජන දර්ශනයද අරකවිල නර්තන නාට්‍ය පදනමේ ප්‍රධාන ශාලාවේදී තිරගත වේ.

සෝදාපාළු වූ සංස්කෘතික හර පද්ධතීන් පැතිර පවතින කාල වකවානුවක දේවදත්තයන් වැනි මිනිසුන් අතරට ආගමනය වූ දේවදූතයකුගේ කතාන්දරය මේ තුළ අන්තර්ගත වේ. දිනෙන් දින පිරිහෙමින් පවතින මනුෂ්‍යත්වය නඟා සිටුවමින් සුභවාදී ආකල්ප, මිනිස් සංවේදනා, ඉවසීම, එකමුතුකම, ධෛර්ය ඇතිකරගත් තැන සුන්දර ලොවක් බිහිකළ හැකිය යන පණිවිඩය රැගෙන ‘ආවා දේවදූතයෙක්‘ අපේ දරුවන් වෙනුවෙන් පමණක් නොව පවුලේ සැම වෙනුවෙන් නිම වූ සිනමාපටයකි.

සංගීතයෙන් අතුල කුමාර එදිරිසිංහ, කැමරාකරණයෙන් අයි.ඉෂාර, කලා අධ්‍යක්ෂණයෙන් මලිත් ගමගේ, සංස්කරණයෙන් ඩී. මධුසංඛ, සහය අධ්‍යක්ෂණය අනුර ද සිල්වා, අංග රචනයෙන් එම්. එමිල්, නිෂ්පාදන කළමනාකරණයෙන් උජිත ජයසංඛ දායක වූ මේ චිත්‍රපටයට රංජීත් දිසානායක, අනුර ද සිල්වා, ජානකී හිල්, කෝසලා මැද්දෙගෙඩ, ජයම්පත් සුරේන්ද්‍ර, බොනී හර්ෂ, ප්‍රියන්තා අංහෙට්ටිගම, රදික සඳරුවන්, ලයනල් බෙන්තරගේ, ගයාන් ප්‍රදීප්, සනුග මනුජය, ලාවණ්‍යා තත්සරණී සහ ශනුක ගිහාන් රංගනයෙන් දායක වෙති.