සිනමාවෙන් උගත් දේ

සැප්තැම්බර් 1, 2022

 

විජේ දෙවෙරකොන්දා සහ ආනන්යා පාණ්ඩේ රංගනයෙන් දායක වන ලිගර් චිත්‍රපටය නිකුත් කෙරුණේ පසුගිය 25 වැනිදායි.

චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇතත් බලාපොරොත්තු වූ අයුරින් ආදායම් වාර්තා අතරට පැමිණීමට අසමත් වී ඇත. 2011 වසරේදී සිනමාවට එක් වූ විජේ දෙවෙරකොන්දාගේ පළමු හින්දි සිනමා නිර්මාණය වන්නේද ලිගර් චිත්‍රපටයයි.

පසුගිය දිනෙක පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී සිනමා ක්ෂේත්‍රයේ වසර 11 ක දිගු ගමනෙන් ඔහු උගත් දේ ගැන ප්‍රකාශ කර සිටියේය. "මම හිතන්නේ සිනමාවට පිවිසෙන විට මම කිසිවක් ඉගෙන ගෙන හිටියේ නැහැ. පසුව මම හින්දි ටිකක් ඉගෙන ගත්තා. මම දෙමළ භාෂාවත් ඉගෙන ගත්තා. මට ගොඩක් අය මුණගැසුණා. ආදරයට කෘතඥ වීමට ඉගෙන ගත්තා. ටිකෙන් ටික මම දෙවියන්ව විශ්වාස කරන්න පටන් ගත්තා. ඒ වගේම හැම වෙලාවකම මම අධ්‍යාත්මිකව හිටියා". ලිගර් චිත්‍රපටයෙන් පසු සමන්තා රූත් ප්‍රභූ සමඟ විජය දෙවෙරකොන්දා ගේ මීළඟ චිත්‍රපටය කුෂි 2022 දෙසැම්බර් 23 දින නිකුත් කිරීමට නියමිතව ඇත.