තරහද? යාළුද?

සැප්තැම්බර් 1, 2022

 

බොලිවුඩයේ මිතුරුකම් සේම සතුරුකම් ද පවතින බව නොරහසකි. වරෙක ඓශ්වර්යා රායි බච්චන් සහ රාණි මුඛර්ජි හොඳම මිතුරියන් වූ බව ප්‍රකට කරුණකි. නමුත් චල්තේ චල්තේ චිත්‍රපටයේ ඓශ් වෙනුවට රාණි තෝරා ගැනීම සමඟ ඉක්මනින්ම දෙදෙනා සතුරන් බවට පත් විය. චල්තේ චල්තේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ ෂාරුක් ඛාන්ය. එහි ප්‍රධාන නිළි චරිතයේ පළමු තේරීම වී ඇත්තේ ඓශ්වර්යාය. එකල සල්මන් සහ ඓශ් පෙම් පුවත බිඳී යාම සමඟ සල්මාන් විසින් චල්තේ චල්තේ චිත්‍රපටයේ ඇතැම් දේපළ විනාශ කළ බව වාර්තා විය. මෙම හේතු නිසා ඓශ් වෙනුවට නිෂ්පාදන ආයතනය රාණි ආදේශ කළ අතර රාණි තෝරා ගැනීමට ෂාරුක්ද සම්බන්ධ බවට කටකතා පැතිරුණි.

පසු කාලීනව ඓශ් අභිෂේක් බච්චන් සමඟ ඇගේ විවාහ මංගල්‍යයට රාණිට ආරාධනා නොකළ අතර එය ඔවුන්ගේ ආරවුලට තවත් හේතු එකතු කළේය. මෙය පිටුපස ඇති තවත් එක් හේතුවක් වන්නේ බොලිවුඩයේ එක් කාලයක අභිෂේක් බච්චන්, රාණි සමඟ වූ ආදර සම්බන්ධයයි. ඒ කෙසේ වෙතත් නිල වශයෙන් ඓශ් හෝ රාණි මාධ්‍ය ඉදිරියේ එකිනෙකා හා විවාද කළේ නැත. 2014 දී රාණි ඉතාලියේදී ආදිත්‍ය චොප්රා සමඟ රහසිගතව විවාහ වූවාය. වරක් සම්මුඛ සාකච්ඡාවකදී රාණිගෙන් බොලිවුඩයේ ඇය කැමතිම නිළිය කවුදැයි විමසූ විටදී එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ, "මගේ පරම්පරාවෙන්, ඓශ්වර්යා සහ ප්‍රීති සින්ටා" යනුවෙනි.