ඉන්ස්ටග්‍රම් නිළියෝ

සැප්තැම්බර් 1, 2022

 

සමාජ මාධ්‍ය සමඟින් සිටීම මේ වන විට නළු නිළියන් හට අතිශය වැදගත් කාරණාවක් බවට පත් වී ඇත. වසරින් වසර සාර්ථක වීම සමාජ මාධ්‍යවල රසික රසිකාවන් සමඟ සම්බන්ධව සිටීම හා සමානව වැදගත් බව බොහෝ දෙනාගේ අදහස බවට පත් වී තිබේ. පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය වෙත දැඩී සමීප බවක් දැක්වීම සමඟ සිනමා තරු ද ඒ වෙත ඇදෙන්නට විය. මේ වන විට ඔවුන් ඒ ඔස්සේ තම තොරතුරු නවතම ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරමින් ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වී ඇත. ඇතැම් තරු සමාජ මාධ්‍ය ඔස්සේ සජීව ලෙස ද අදහස් ප්‍රකාශ කරති.

මේ අතර දකුණු ඉන්දීය සිනමාවේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය තරු කවුරුන් දැයි කතාබහක් ඇති විය. සමන්තා, රශ්මිකා මන්දනා, කාජල් අගර්වාල් වැනි නිළියන් ඉන්ස්ටග්‍රම් හි ඡායාරූප සහ වීඩියෝ පළ කරමින් විශාල රසික අනුගාමික පිරිසක් දිනා මේ අතරේ ඉදිරියෙන් සිටිති. මිලියන 32.7ක අනුගාමිකයන් පිරිසක් දිනා සිටින රශ්මිකා මන්දනා ඉන්ස්ටග්‍රම් තුළ ඉදිරියෙන් සිටින දකුණු ඉන්දීය තාරකාව බවට පත් වී සිටී. දෙවැනි ස්ථානය දිනා සිටින්නේ අනුගාමිකයන් මිලියන 24.3 ක් සිටින සමන්තා රූත් ප්‍රභූය.

රශ්මිකා සහ සමන්තාට පසුව කාජල් අගර්වාල් හට හිමි වී තිබෙන්නේ තෙවැනි ස්ථානයයි. ඇගේ මංගල ඡායාරූප මෙන්ම මේ වන විට පුත් නීල් සමඟ සුන්දර අවස්ථා ඇගේ රසිකයන්ගේ අවධානයට ලක්ව ඇත. සිව්වැනි ස්ථානයේ පසු වන්නේ රකුල් ප්‍රීත් සිංය. මේ වන විට හින්දි සිනමාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන රකුල් ඇගේ චිත්‍රපට පෙළගැස්ම හේතුවෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ශාරීරික යෝග්‍යතා වීඩියෝ සහ විලාසිතා ඇගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ විශේෂ වේ. මිලියන 21.2ක අනුගාමිකන් පිරිසක් සිටින පූජා හෙජ් සිටින්නේ පස් වැනි ස්ථානයේය.