අසනීපය අමතක ඩොනල්ඞ්

අගෝස්තු 18, 2022


 
 අපට සිටින සිනමා කැමරා අධ්‍යක්ෂවරුන් අතරින් ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඞ් කරුණාරත්න ජ්‍යෙෂ්ඨ ශිල්පියෙකි. ඔහු මේ වන විට ඇමෙරිකාවේ කැලිෆෝනියාහි පදිංචි වී සිටියි. දැඩි ලෙස රෝගාතුරව සිටින කරුණාරත්නයන් රැක බලා ගන්නේ බිරිඳ ශිරාණි සහ දුව ගයෝෂාය. තවත් දුවකු සහ පුතකු ද ඔහුට සිටී. අපේ ප‍්‍රවීණ සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි පසුගියදා ඇමරිකාවේ සංචාරයක නියැළුණා. ඒ අතරතුර චිත‍්‍රපට නිෂ්පාදකවරයකු හා නළුවකු වූ කීත් රංගගේ දැනුම් දීමක් නිසා ස්වර්ණා මල්ලවආරච්චි හට ඩොනල්ඞ් කරුණාරත්නයන්ගේ සුවදුක් බැලීමට අවශ්‍ය විය. කීත් රංග ඩොනල්ඞ් පදිංචි වී සිටින කැලිෆෝනියාවේ නිවස වෙත නොපැකිළිව ස්වර්ණා මල්ලවආරච්චි කැටුව ගියේය. ස්වර්ණා මල්ලවආරච්චි සහ කීත් රංග ඩොනල්ඞ්ගේ නිවසට ළඟා වන විට ප‍්‍රවීණ සරසවිය සම්මානනීය නළු ලින්ටන් සේමගේ ද එහි පැමිණ සිටියේය. දැඩි ලෙස රෝගාතුරව සිටින ඩොනල්ඞ් කරුණාරත්නයන්ට ස්වර්ණා මල්ලවආරච්චි දැකීමෙන් තමා රෝගාතුරව සිටින බව ද අමතක විය. වෙනදාට කිසිවක් මතක නැති ඔහුට ස්වර්ණා මල්ලවආරච්චි දැකීමෙන් අතීත තොරතුරු රැසක් මතකයට නැඟී ඇය සමඟ සිහිපත් කළේය. ඒ අතර චිත‍්‍රපටවල සිදු වූ රස බර කතා බහුලය. ස්වර්ණා ඩොනල්ඞ්ගේ ඇඳ ළඟ සිටගෙන පැය තුනහමාරක් පමණ සිනමා අතීත මතකවලට සවන්දී සිටියාය. පැමිණ සිටි ලින්ටන් සේමගේටත් එදින අමතක නොවන දිනයක් බවට පත් විය. අහස් ගව්ව, දඩයම, මායා, සාගර ජලය, සමනල සිහින ඩොනල්ඞ් කැමරාව මෙහෙය වූ ස්වර්ණා රඟපෑ චිත‍්‍රපට වේ.