ඇඟිලි ගැන්න චිත‍්‍රපටය

අගෝස්තු 18, 2022

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් පසුගිය කාලයේ නොඉවසිල්ලෙන් කාලය ගත කළ බව කියවුණා. අලූ‍ත් චිත‍්‍රපටයක් නිකුත් වෙන තෙක් ඔහු බලාසිටි බවත් සඳහන් වුණා. ඒ වෙන කිසිවකුත් නොව ආලියා භාත්ගේ නවතම චිත‍්‍රපටය Darlings නැරඹීම වෙනුවෙන්. මේ වසර ආලියාගේ සිනමා දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේත් අති සාර්ථක වසරක්. Darlings චිත‍්‍රපටය සමඟ ආලියා නිෂ්පාදිකාවක බවට පත් විම තවත් සුවිශේෂි අවස්ථාවක්. එයට ශාරුක්ගේ බිරිය ගෞරි ඛාන්ද සම නිෂ්පාදිකාවක ලෙසින් දායක වී සිටින්නීය. ආලියා ඇයගේම නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ අතර එයEternal Sunshine Productions  ලෙස නම් කෙරුණි.
 
 Eternal Sunshine Productions හි පළමු චිත‍්‍රපටයේ වගකීම මා සමඟ බෙදා ගැනීම සතුටක්. එය නිකුත් වන තෙක් මම මගේ නියපොතු සපාගෙන සිටිනවා. මට දැනෙනවා ලස්සන චිත‍්‍රපටයක්”‍ ශාරුක් සිය ට්විටර් ගිණුමට සටහනක් තැබීය. එම
 
 ට්විටර් පණිවිඩයට පිළිතුරු දෙමින් ආලියා මෙසේ ලිවීය, ”‍ඔබ මගේ සදාකාලික ප‍්‍රියතම නළුවා සේම නිෂ්පාදකයායි. මා සමඟ මේ වෙනුවෙන් එක් වීම වෙනුවෙන් ඔබට ස්තූතියි. සියලූ‍ නියපොතු කා අවසන් නිසා චිත‍්‍රපටය නිකුත් වීමෙන් පසු අපි දෙදෙනාටම දෑත් වෙනුවෙන් රූපලාවණ්‍ය සත්කාරයක් ලබාගත හැකියි.
 
 Darlings යනු අඳුරු ප‍්‍රහසන චිත‍්‍රපටයක් වන අතර එයට ආලියා සමඟ ශිෆාලි ෂා, විජේ වර්මා සහ රෝහන් මැතිව් රංගනයෙන් දායක වී සිටිති. බදෘ නම් කාන්තාව ඇයගේ මව සමඟ එක්ව මත්පැනට ඇබ්බැහි වූ සැමියාගේ වද හිංසාවලින් ගැලවීමට යොදන උපක‍්‍රමය මේ ඔස්සේ දිග හැරේ. Darlings චිත‍්‍රපටය පසුගිය අගෝස්තු 5 වැනිදා සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් විය.