කන්ගනා වගේ ඉන්දිරා

ජූලි 28, 2022


 
 කන්ගනා රනවුත්ගේ නවතම චිත‍්‍රපටය ‘ඉමර්ජන්සි‘ ලෙස නම් කර තිබේ. එය ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන්නකි. කන්ගනා, අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ චරිතයට පණ පොවන එහි පළමු ටීසරය එළිදක්වීමෙන් අනතුරුව චිත‍්‍රපට නිෂ්පාදක රාම් ගෝපාල් වර්මා දැක්වූ ප‍්‍රතිචාරය කන්ගනා බෙහෙවින් දිරිමත් කිරීමට සමත් වී ඇත. 1984 වසරේදී හිටපු අගමැතිනියගේ පැරණි සම්මුඛ සාකච්ඡුාවක් දක්වමින් ඔහු පවසන්නේ හිටපු අගමැතිනිය කන්ගනා මෙන් ක‍්‍රියා කරන බවයි. රාම් ගෝපාල් වර්මා ඔහුගේ සටහනේ ශීර්ෂ පාඨය මෙසේ දැක්වීය. ”‍විශ්වාස කරන්න හෝ නොකරන්න. ඉන්දිරා ගාන්ධි හැසිරෙන්නේ කන්ගනා වගේ ...”‍ යනුවෙනි.
 
 මේ වන විට බොලිවුඩයේ සම්මානනීය සාර්ථක රංගන ශිල්පිනියක ලෙස කන්ගනාගේ දිවියට ‘ඉමර්ජන්සි‘ චිත‍්‍රපටය සුවිශේෂි වේ. කන්ගනාගේ මණිකර්නිකා ෆිල්ම්ස් යටතේ නිෂ්පාදනය කරන ලද ‘ඉමර්ජන්සි‘ චිත‍්‍රපටය ඇයගේ මංගල අධ්‍යක්ෂණය ද සනිටුහන් කරයි.
 
 අනුපම් කේර් ද මෙම චිත‍්‍රපටයේ දේශපාලනඥ ජායි ප‍්‍රකාශ් නාරායන් ගේ චරිතය නිරූපණය කරයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජායි ප‍්‍රකාශ් නාරායන් සම්බන්ධයෙන් වූ කන්ගනාගේ අර්ථකථනය සිත් ඇදගන්නා සුලූයි යනුවෙනි. මීට පෙර කන්ගනා අභාවප‍්‍රාප්ත, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අපදානය ගෙන එන ‘තලෙයිවි‘ චිත‍්‍රපටයේ ජයලලිතා චරිතයටද පණ පෙවූවාය.