ජන ගීතයේ ගුවන්විදුලි මිණි කිංකිණිය

කලාගුරු කේ. ජී. ගණිතසාර
ජූලි 28, 2022


 
 හෙළ කලාවේ පුනර්ජීවන යුගය බැබළවූ අග‍්‍රගණ්‍ය කලා ශිල්පියකු වූ කලා ගුරු කේ. ජී. ගණිතසාර අල්ගම රත්තොට පරම්පරාවට අයත් පාරම්පරික නර්තනවේදියෙකි. ගුවන්විදුලියේ පළමු වැනි විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී ගායන ශිල්පියා වශයෙන් හැඳින්විය හැකි ඔහු මියෙන තුරුම වසර 40ක් පමණ ගුවන්විදුලියේ විවිධ ජන ගී වැඩසටහන් සඳහා සිය ශිල්පීය දායකත්වය ලබා දුන්නේය. වසර හයක් පමණ රජයේ කලායතනයේ (හේවුඩයේ) ජන ගී අංශයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළ ගණිතසාර, ඩබ්. බී. මකුලොලූ‍ව සභාපතිත්වය දැරූ සමයේ ජන ගී අනුමණ්ඩලයේ සාමාජිකයෙක්ද විය. ඇස්. පණීභාරතයන් රජයේ කලායතනයේ (හේවුඩයේ) නර්තන අංශ ප‍්‍රධානව සිටියදී එහි උපප‍්‍රධානව සිටි කේ. ඇන්. සුරඹා ගුරුන්නාන්සේ කේ. ජී. ගණිතසාරගේ වැඩිමහල් සොහොයුරාය.
 

 අල්ගම රත්තොට පරම්පරාවේ නර්තන ශිල්පියකු වූ ගල්පොත්තේපොළ සේතුංග ගුරුන්නාන්සේට දාව උපත ලද ගණිතසාර කලාශිල්ප හදාළේ අල්ගම හත්නාගොඩ සහ ඌරාපොළ යන පරම්පරාද ඇසුරේය. ගායනය සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් ඔහු වෙත නොවුණ නමුත් ඔහුගේ මිණි කිංකිණි ජන හඬ අබිබවන්නට සමතෙක් අදටත් නැතැයි ක්ෂේත‍්‍රයේ ඇතැමෙක් තවම සිහිපත් කරති. ගුවන්විදුලි ”ඒ” ශ්‍රේණියේ ජන ගී ගායිකාවක වුණු ඔහුගේ දියණිය (කලාභූෂණ කේ. ඇන්. ඥානවතී) ඒ පිළිබඳ අපට කීවේ මෙසේයි:
 
 ”ගුවන්විදුලියේ ශිල්පීන් වර්ග කරන්න රතන්ජංකර් පඬිතුමා ලංකාවට ආව වෙලාවෙ තිබුණ ඔඩිෂන් එකේදි රතන්ජංකර් පඬිතුමා තාත්තට ලකුණු 98ක් දීලා තිබුණලූ‍. ඉන්දියාවට එක්කගෙන ගියා නම් සෑහෙන උසස් තැනකට යන්න තිබුණ කියලත් රතන්ජංකර් පඬිතුමා කියලා. ගායනයට තාත්තට තිබුණේ උපන් හැකියාවක් විතරයි. කිසිම ශාස්ත‍්‍රාලයීය අධ්‍යාපනයක් ලබලා තිබුණේ නෑ.”
 
 දේශීය ගී, ජන ගී, මිණි කිංකිණි, භක්ති පූජා, ජන ප‍්‍රසංග, සොඩි ටිකිරි, තුන්පත් රටා, ජන ගී නිදර්ශන කතා ආදිය ගණිතසාරගේ ශිල්පීය දක්ෂතාවෙන් උත්කර්ෂයට පත් වූ ගුවන්විදුලි වැඩසටහන් කිහිපයකි. ගුවන්විදුලි ”ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” සඳහා ඉදිරිපත් කෙරෙන විවිධ ජන සංගීත විෂයක වැඩසටහන් සඳහා දායක වී ඇති ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමඟ ”18 වන්නම්” මැයෙන් කළ වැඩසටහන් මාලාව ඉන් ප‍්‍රධාන වෙයි. එමතු නොව, මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය උලෙළවල ජන ගී ගායනා සඳහාද කිහිප විට ඔහුව සම්බන්ධ කරගත්තේය.
 
 ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සිංහල සේවා අධ්‍යක්ෂ පාලිත පෙරේරා කේ. ජී. ගණිතසාර පිළිබඳ සිය මතකය වරක් මෙසේ සටහන් තැබුවේය.
 
 ”...මට තිබුණේ ජන ගී වැඩසටහනේ අංක හැඳින්වීම් විස්තර සජීව ලෙස මැදිරි අංක 1 සිට නිවේදනය කිරීමටය. නිවේදන විස්තර ලියා තිබුණේ මඩවලයි (මඩවල ඇස්. රත්නායක). ජන ගී ශිල්පියා වූයේ කේ. ගණිතසාර නමැති විශිෂ්ටයාය. මැදිරිය තුළ ඉන්නා ගණිතසාරයෝ පුහුණුවීමේ යෙදී සිටිති. ඔහුගේ පුතණුවන් (කේ. ඇන්. නිමල්සිරි) සහය ගායනයේ යෙදී සිටී. මයික‍්‍රෆෝනය ඉදිරියේ බිම පලස මත වාඩිවී අතේ ඇති උඩැක්කිය වයමින් ගායනයේ යෙදෙන ගණිතසාරගේ හඬ තුලනය කරගැනීමට බැරිව කාර්මික නිලධාරි තැන අසීරුවට පත්ව ඇත.
 
 ”අයිසෙ, මයික‍්‍රෆෝනය තව ඈත් කරනවා. ඒ මිනිස්සු ගම්වල ඔය කවි කියන්නේ ඔය විදිහට හොඳට කට ඇරලා රැල් බුරුල් කරලා. මයික‍්‍රෆෝනවලට නෙමේ. ගව් ගාණක් ඈතට ඇහෙන්න. පාලි (පාලිත) බලන්නකො මනුස්සයාගේ කටේ හැටි. රතට රතේ බුලත්ම කාලා. නියම ගැමියෝ ඔහොම තමා” යැයි මඩවල සිනාසෙමින් කාර්මික නිලධාරියාට කීවේය.
 
 මැදිරියෙන් මා සමඟ එළියට ආ මඩවල, ‘පාලි, ඔය ගණිතසාර අපේ විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පියෙක්. තව දෙන්නයි ඒ ගේ‍්‍රඞ් ඉන්නේ. පණීභාරතයි, දයා නෙල්ලම්පිටියයි...’ කීවේය.” (පන්හිඳක ගැමි සුවඳ, 2020: 373).
 
 මඩවල රත්නායක සමඟ ගණිතසාරගේ ජන හඬ සොයාගෙන ගල්පොත්තේපොළට පැමිණියවුන්ගේද නිමක් නැති. ගුවන්විදුලි ”ඒ” ශ්‍රේණියේ ජන ගී ගායකයකු වුණු ගණිතසාරගේ වැඩිමහල් පුතු (කේ. ඇන්. නිමල්සිරි) ඒ පිළිබඳ අපට කීවේ රසවත් කතාවකි.
 
 ”තාත්තා දිගටම වගේ ගුවන්විදුලියෙ ජන ගී වැඩසටන් කළේ මඩවල මහත්තයල එක්ක. ඒ දවස්වල මඩවල රත්නායක මහත්තය එක එක රටවල සුද්දො එක්කගෙන එනවා ගමට, තාත්තගෙ ජන කවි අහන්න. තාත්තා කරත්තවල යන ගමන්, පැල්වල ඉඳන් කියන කවි ඒ අය රෙකෝඞ් කරගෙන යනවා.”
 
 මා හට එක් වනම සිතුණේ ඒ පටිගත කිරීම් සොයාගන්නට ඇත්නම් කෙතරම් වටීද කියායි. එහෙත් ඒ පැමිණියවුන්ගේ ආගිය තොරතුරු අපි කොයින් සොයමුද? ගණිතසාර ගුරුන්නාන්සේගේ ඉදිරිපත් කිරීම් නිසැකයෙන් තිබිය යුතු වන්නේ ගුවන්විදුලි තැටිපටි අතරයි. මම ඒ පිළිබඳ ඥානවතී මහත්මියගෙන් විමැසීමි.
 
 ”ගුවන්විදුලියේ තාත්තගේ පටිගත කිරීම් දැන් මොනවත් නෑලූ‍. අයියා ගියා (කේ. ඇන්. නිමල්සිරි) බලන්න. ඒවා මකලා. ඒවා උඩින් පිරිත්, බණ ගහලලූ‍. ඉලේසිංහ සර් කිව්වෙ.”
 
 ”ජන ගීතයේ ගුවන්විදුලි මිණි කිංකිණිය” යැයි නොබා හැඳින්විය හැකි මෙවැනි විශිෂ්ටයකුගේ මෙහෙවරට ගුවන්විදුලියෙන්ම අත් කළ ඉරණම මෙය නම් ඒ ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව අවසාන වශයෙන් සඳහන් කිරීමට මැළි නොවෙමි. එහෙත් නර්තනවේදියකුද, ජන ගායකයකුද වශයෙන් කලාගුරු කේ. ජී. ගණිතසාර ඉටු කළ යුග කාර්ය සාධනය මෙසේ කාලයේ වැළලී යාමට ඉඩ හැරීම කිසිසේත් කටයුත්තක් නම් නොවේ.