සුදු ආච්චිට ආයුබෝවේවා!

ජුනි 16, 2022

ඇගේ මුල්ම සිනමාපටය රේඛාවයි. එහි මව ලෙස රංගනයට පිවිසෙන ප්‍රවීණ රංගන ශිල්පිණි 'අයිරාංගනි සේරසිංහ'ගේ 95වැනි ජන්ම-දිනය පසුගිය 09 වැනිදාට යෙදී තිබුණු අතර, එය සැමරීම සඳහා නාවල, නිවසට කලා ශිල්පීන් රැසක් එක්ව සිටියහ. නිෂ්පාදිකා සන්ධ්‍යා මෙන්ඩිස් සහ මහාචාර්ය තිස්ස විතාරණ 'දූ දරුවෝ' රංගන ශිල්පීන් හා ඇය සමඟ ටෙලි නාට්‍යවලට එක්වූ චාන්දනී සෙනවිරත්න, යශෝධා විමලධර්ම, නිල්මිණී තෙන්නකෝන්, දීපානි සිල්වා, ප්‍රියා රණසිංහ, චන්න පෙරේරා ඇතුළු නළු-නිළියන් ඇතුලු නැදැ හිතවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

සිංහබාහුට පරිප්පු ප්‍රශ්නයක්

රේණුකා බාලසූරිය කියන්නේ චිත්‍රපට නිෂ්පාදනයේදී හැමදෙයක්ම කරට අරගෙන හොඳම සැලසුම් කරන නිෂ්පාදිකාවක්. දැන් රටේ ලෝකේ තේ, ගෑස් වගේ ප්‍රශ්න තිබුණට රේණුකාට මේ පාර ඔක්කොටම වඩා බලපාලා තියෙන්නේ පරිප්පු කියලයි ආරංචිය. එයට හේතුව අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකට තුන් වේලටම පරිප්පු ඕන වීමයි.

පරිප්පු එක පාරටම තොගයක් ගැනීමත් මේ දවස්වල දුෂ්කර වැඩක්ලු. ඊට හේතුව පරිප්පු අහස උසට මිල නැගලා හින්දාලු. ඒ නිසා රේණුකා මේ දවස්වල කන පරිප්පුවනම් කියලා වැඩක් නැහැලු.

 

අසංකයි නයනානන්දයි ජාත්‍යන්තරයට

විජයබා කොල්ලයේ නිලමනීට පෙම්බැන්ද නයනා නන්ද හා අසංග පහුගිය දා හමුවුණේ කොළඹ තරුපහේ හෝටලයකදීය. ඒ අලුත් සිනමා කෘතියක ගීත එළි දැක්වීමක් සඳහායි. ඉන්දීය ශ්‍රී ලංකා සිනමා හවුල් නිෂ්පාදනයක් වන ‘සෙකන්ඩ්ෂෝ’ සිනමාපටයේ. දෙමළ හා සිංහල ගීත එළි දැක්වීම මේ දින සිදුවුණි. එහි ප්‍රධාන රංගන ශිල්පීයා වන්නේ හේමාල් රණසිංහයි. හේමාල්ව හඳුන්වා දුන්නේ අෂාන් ඩයස්ය. හොඳ යාළු මිත්‍රයන් දෙදෙනකු වන මොවුන් දෙදෙනාටම මේ කාල වකවනුව හොඳම කාලයකි. අෂාන් ඩයස් ඊශ්‍රායල් සිනමා පටයක් වන අරුගම්බේ සිනමා පටයේ ද රංගනය යෙදුණේය. ඒ බව දෙදෙනා කථා බහට මාතෘකා කරගන්නේ ඉදිරි නිර්මාණකරණය වැඩි වශයෙන් අන්තර්ජාතික මට්ටමෙන් රංගනයේ නියැළීම වටින බවයි. ඒ සඳහා විදේශිය අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ ලංකාව තුළට ගෙන ඒ කෙසේ කළ වන්නේ ද කියායි.

 

95ට පැතුමක්

“දූ දරුවෝ” ටෙලි නාට්‍යයේ රඟපෑ නිල්මිණි තෙන්නකෝන් සහ චාන්දනි සෙනෙවිරත්න එදා සිටම හොඳ යාළුවෝ දෙදෙනෙකි. කලා කේෂ්ත්‍රයේ කොතැනක මුණ ගැහුණත් විහිළු තහළුවලින් අඩුවක් නැත. දුකේදීත් සැපෙදීත් එකට සිටීම අද කලා ලොවේ එහෙමත් වෙලාවකට තමයි අහන්න ලැබෙන්නේ. දූ දරුවෝ අම්මාගේ (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ) ජන්ම දිනය දා මේ දරුවන් දෙන්නා ද ඇගේ පළමු සිනමාපටයේ සිට මේතාක්කල් ආ ගමන් මඟ ඇය පසු කළ දිවියට ආවඩා ආයුබෝවේවා කීවෝය. ඒ අතර ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ බලමින් වචන පිට නොකරමින් ඉලක්කම් දෙක දෙස බලා සිටියේ මෙවැනි සැමරුමක් සඳහා ඔවුන්ට තව කොතෙක්කල් ඉවසන්නටවේදැයි සිතමින් විය යුතුය.

 

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න