මම මුලින්ම රඟපෑවේ ‘මුව දඩයම’ චිත්‍රපටයේ නමුත් එම චිත්‍රපටය තිරගත වුණේ නැහැ

හරිම මිහිරි අත්දැකිම් මම සිනමාව නිසා වින්දා
ජුනි 2, 2022

කොහොමද සැප සනීප?

‘මම නිතරම සතුටින් දිවි ගෙවන්නේ. ප්‍රශ්න ගැටලු මේ සියල්ලම ධනාත්මක චින්තනය තුළින් මම ජය ලබලා තියෙන්නේ.

ඔබේ සිනමා ගමන ගැන කතා කරමු.

“මම මුලින්ම රඟපෑවේ ‘මුව දඩයම’ චිත්‍රපටයේ නමුත් එම චිත්‍රපටය තිරගත වුණේ නැහැ. මම වැඩිපුරම රඟපෑවේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ චිත්‍රපටවල්. එයට හේතුව ඒ දිනවල මම නැවතී සිටියේ නුගේගොඩ නාවල ජිනදාස නියතපාලගේ නිවසේ උඩ තට්ටුවේ. කේ.ඒ.ඩබ්.පෙරේරාගේ නිවස කිට්ටුව.

කොහොමද ඔබේ පුංචි සන්ධිය?

පුංචි සන්ධියේ මගේ එකම සිහිනය නිළියක් වීම. රුක්මණී දේවියගේ චිත්‍රපට නරඹලා මම ගෙදර ඇවිත් රුක්මණී වගේ නටනවා. මගේ අයියාලගේ යාළුවෝ ආවම මට කියනවා නටන්න කියලා. මමත් ඉස්කොලේ යන පොඩි කෙල්ලනේ, මම නටලා ඉවර වුණාම යාළුවෝ මගේ අතට පුංචි මුදලක් දෙනවා. මම ක්ලැරිස්, සන්ධ්‍යා කුමාරිව අනුකරණය කරනවා. මම මනෝ ලෝකයේ නිළියක්, මට තාත්තා රඟපාන්නට අවසර දුන්නේ නැහැ. සිරිල් පී අබේරත්න අපේ අක්කාව සුරංගනී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඉල්ලුවත් තාත්තා කැමැති වුණේ නැහැ. මට පාසල් කාලෙම මගේ අම්මා නැතිවුණා. ඒ නිසා තාත්තා දරුවන් හැදුවේ නීති රිතී දාලා. අක්කා තමයි අපිව බලාගත්තේ. අපේ තාත්තා සංචාරක කටයුතු කළේ. ඒ නිසා පුංචි සන්ධියේ ඉඳලා අපේ අත මිට සරුයි. මගේ තාත්තා වැලන්ටයින් චෙප් වීරසිංහ

ඔබ සිනමාවට ප්‍රවිෂ්ට වන විට විවාහ වී අවසන් නේද?

ඔව්. මම විවාහ වුණේ ජෝ රත්නායක සමඟ ඔහු ඇඟලුම් ආයතනයක් පවත්වා ගෙන ගියා. මම දරුවෝ ලැබුණට පස්සේ තමයි පුංචි සන්ධියේ පටන් මා තුළ පැවැති රඟපෑමේ ඇල්ම ආශාව සියල්ලම ඉටු වුණේ. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. දුවයි පුතයි දුව බැඳලා ඔස්ටේ‍්‍රලියාවේ. පසුව දැන් පදිංචිය නවසිලන්තයේ දුවටත් දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. පුතා මීගොඩ ඉන්නේ. පුතා බැඳලා පුතාටත් දුවක් ඉන්නවා. පුතා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. පුතාගේම ආයතනයක් තිබෙනවා.

ඔබ අනූ ගාමන්ට්ස් නමින් ඇඟලුම් ආයතනයක් පවත්වාගෙන ගියා නේද?

ඔව් මම මහා පරිමාණයෙන් ඇඟලුම් ආයතනයක් පවත්වා ගෙන ගියා. ළමයි විශාල සංඛ්‍යාවක් එහි සේවය කළා. පිටකොටුවේ කඩවලටයි, ඇඳුම් දැම්මේ. මගේ ඇඟලුම් සියල්ල කළේ දේශීය රෙදිවලින් පසුව රජය මාරුවීමෙන් විදෙස් රටවලින් රෙදි පිළි ගෙන්වනනට පටන් ගැනීමත් සමඟ මගේ ව්‍යාපාරය අඩපණ වුණා. නමුත් බබාලා වෙනුවෙන් නිෂ්පාදනය කළ ඇඟලුම් වර්ග කිහිපයක් තිබුණා. මට ඒ කටයුත්ත මගේ සැමියාට බාර දීලා ටික කලකට ලන්ඩන් ගියා. එහිදී මම යෝගා හැදැරුවා. නමුත් ලංකාවට ඇවිත් ප්‍රායෝගිව යෝගවල නිතර වුණේ නැහැ.

ප්‍රායෝගිකව යෝගවල නිතර නොවී ඔබ කෙලෙස ද යෝග ගුරුවරියක වුණේ?

පසුව මට හැඟී ගියා යෝග අධ්‍යනයට කළාට මදි ප්‍රායෝගිකව යෝග ව්‍යායාමේ යෙදිය යුතුය. කියා. 200 පවා මම යෝග ව්‍යායාම් කරන්නට පටන් ගත්තාට පසු මගේ සිරුරේ තිබු ලෙඩ රෝග සියල්ලම නැති වී ගියා. මට හිතුණා මේ වටිනාකම අන් අයට බෙදා දීමට ඒ නිසා මම යෝග පන්ති පටන් ගත්තා. ටාජ් සමුද්‍ර හෝටලය හිල්ටන් හෝලටය, පමණක් නොවෙයි. කොහුවල හන්දියේ වෛද්‍ය ජයසුරියගේ නිවෙසක යෝග පන්ති පැවැත්වුවා. අවශ්‍ය නම් ගෙවල්වලටත් ගිහිල්ලා යෝග පන්ති පැවැත්වුවා. වයස අවුරුදු 60 - 65 අයත් මගෙන් යෝග ඉගෙන ගත්තා.

ඔබ කටු චිකිත්සාවක් ප්‍රගුණ කළා නේද?

ඔව්. කොහුවල ප්‍රසිද්ධියක් උසුලන වෛද්‍ය ඇන්ටන් ජයසුරිය තමයි කටු චිකිත්සාව හදාරන්නට මට අවස්ථාව සලසා දුන්නේ. ඔහු නොමිලේ කටු චිකිත්සාව හදාරන්නට මට අවස්ථාව සලසා දුන්නා. එයින් ලද පන්නරය තුළ මට කටු චිකිත්සාව ඇරඹුවා රෝගීන් ගණනාවකට ප්‍රතිකාර කළා. පසුව නතර කරලා මම මගේ දුවගේ ගෙදර ඕස්ට්‍රේලියාවට ගියා. පසුව ලංකාවට ඇවිත් නැවත යෝග කළා. පෞද්ගලික යෝග පන්ති කළා.

කොහොමද ඔබේ දින චාර්යාව?

මම මගේ වැඩපළ ටික තනිවම කරගන්නවා. උයලා පිහලා ගෙවත්ත සුද්ද කරලා අතුපතු ගාලා මගේ වැඩ ටික ඉවර කරනවා. තනිවම ගමන් බිමන් යන්නේ. බස් එකෙන් අවශ්‍ය හොඳ ආහාර ගන්නවා. යෝග කරනවා. බොහෝ අය හිතන්නේ මම වයස නැහැ කියලා. ඒ යෝග කරන කොට ධනාත්මකව සිතන්නට පුරුදු වෙනවා. අනවශ්‍ය දේවල් සිතමින් දුක් විඳින්නේ නැතිව සතුටින් ඉන්න ඕනෑ. එතැනයි තරුණකමේ රහස

ඔබ රඟපෑ චිත්‍රපට ගණනාවක මාලිනි ෆොන්සේකා රඟපැවා නේද?

ඔව්. මම මාලිනි සමඟ චිත්‍රපට ගණනාවක රඟපෑවා. මා රඟපෑ බොහෝ චරිත උප ප්‍රධාන චරිත. සංගීතා චිත්‍රපටයේ මාලිනි සමඟ, සුසී චිත්‍රපටයේ මාලිනි සමඟ. සංගීතා චිත්‍රපටයේ මාලිනිගේ සොහොයුරිය ලෙස රඟපෑවා. අපි ඇඳුම් ඇන්දේ එක විදියට. කොණ්ඩ මෝස්තර එක වගේ. සාරි හැට්ටේ එකම මෝස්තරය. සුසී චිත්‍රපටයේ මම මාලිනිත් එක්ක ගහ ගන්නවා. විජය බෙදා ගන්න බැරුව. හරිම මිහිරි අත්දැකිම් මම සිනමාව නිසා වින්දා. පුංචි සන්ධියේ මා මැවු සිනමා නිළියක් වීමේ සුන්දර සිහිනය සැබෑ වුණා. ඒ නිසා මම තෘප්තිමත් ගැහැනියක්. වෘත්තියක් ලෙස රඟපෑම පමණක් තෝරා නොගත්තත් මගේ ආත්ම තෘප්තිය වුණා රඟපෑම. ඒ සිහිනය සැබෑ වීම මා ලද ලොකුම ත්‍යාගයක්.

සිනමාවෙන් ඉවත් වුණත් මම වෙනත් වෘත්තියන් හි නිතර වීම නිසා මගේ ආර්ථිකයත් ශක්තිමත් තත්ත්වයකට පත්කර ගන්නට මට හැකිවුණා. එපමණක් නොවෙයි ජීවිතයේ අවසන් භාගයේ නිරෝගීව ජීවත් වීමට යෝග ව්‍යායාම්වලින් මට ලැබුණේ ඉමහත් පිටිවහලක්.

සේයාරූ - දයාන් විතාරණ