සිව් වසරක හැඳුනුම්පත

මැයි 26, 2022

 

2018 වසරේ සරසවිය පුවත්පතට එක්තරා කාන්තාවක් පැමිණියාය. ඇය පැමිණෙන්නේ ඇගේ මව වෙනුවෙන් කරන උපහාර උලෙළක් පිළිබඳ ප්‍රවෘත්තියක් සරසවිය පුවත්පතේ පළකරවා ගැනීම සඳහායි. ප්‍රධාන කර්තෘ හමුවීමෙන් පසු ඇගේ කාර්යය ඉටුකරගෙන ඉතා සතුටින් නික්ම යන ඇය ලේක්හවුස් ආයතනයට ඇතුළු වීමේදී ලබාදෙන ආයතනික ‘විසැරිපත’ රැගෙන ජාතික හැඳුනුම්පත දමා ගියේ අමතක වීමකිනි. කලක් ජාතික හැඳුනුම්පත වෙනුවට ගුවන් ගමන් බලපත්‍රය පාවිච්චි කළ ඇය පසුගිය දවසක කොළඹ කොටුවට එන අතර තුර නැවත ලේක්හවුස් ආයතනයට පැමිණියේ හැඳුනුම්පත් තිබේ දැයි සැකයෙනි. ඇය පුදුමයට පත් වුයේ සිව් වසරකට එය ආරක්ෂා කර තිබෙනු දුටු විටය. ඇගේ විසැරිපත නැවත ලබා දී ජාතික හැඳුනුම්පත ඉල්ලු විට වසර 4කට පසු ඇගේ හැඳුනුම්පත ලබාදෙන්නට ලේක්හවුස් ආරක්ෂක අංශය සමත් විය. ඒ 2022 මැයි 23 දිනයි. මේ වෙන කවුරුත් නොව 60 දශකයේ ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වූ විජිත මල්ලිකාගේ දියණිය පි‍්‍රයා ප්‍රනාන්දු අත්තනායකයි.

ඇයගේ ස්වාමියා වන කුමාර අත්තනායක ද නළුවකු මෙන්ම නිෂ්පාදන කළමනාකරුවකු ලෙස කලාලොව හඳුනන්නෙකි.