බඹරවානේ ගුණසේන කඩිගමුව කිවියා දැයෙන් සමුගනී

මැයි 26, 2022

 

හැට දශකයේ සිට ගුවන් විදුලිය සහ පුවත්පත් තුළින් කවියෙකු ලෙස පෙරට ආ බඹරවානේ ගුණසේන කඩිගමුව 70 දශකයේදී ගීත නිබන්ධකයකු ලෙසින්ද නමක් දිනා ගැනීමට සමත් විය. සිසිර සේනාරත්නයන් විසින් ගායනා කරන ලද " උතුරු සළු හැඳ පොරවලා" ගීතය මෙන්ම, ආචාර්ය වික්ටර් රත්නායක ගැයු " කැන්දා ඔබ එහා ගමට ", ඉන්ද්‍රානි සේනාරත්න ගැයු " දෙනෙත පෙනුණේ", විශාරද ස්වර්ණලතා කවීශ්වර ගැයු " පෙර දිග අහසේ " විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයු "හිරු දෙවියන්ගෙ " ගී ඇතුළුව ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සඳහා ගීත සියයකට අධික සංඛ්‍යාවක් ඔහු විසින් නිර්මාණය කර ඇත. ඔහුගේ නිර්මාණ දිවියට උපහාරයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් " උතුරු සළු හැඳ " නමින් සංගත තැටියක් ද නිකුත් කිරීමටද කටයුතු කරන ලදි. විගණකාධිකාරි දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ මහතා විවාහව සිටියේ ඩී.කන්නංගර මහත්මිය සමගිනි. ඔවුනට දූ දරුවන් තිදෙනකු ද විය. එකම දියණියද කලා ක්ෂේත්‍රයට අවතීර්ණව සිටී. 1945 මැයි මස 10 වන දින උපන් ඔහු කලක් රෝගාතුරව සිට මියයන විට හැත්තෑහත් වැනි වියේ පසුවිය. ඒ මහතාගේ අවසන් කටයුතු 23 වැනි දින සවස් යාමයේදී, ජාවත්ත පොදු සුසාන භූමියේදී සිදුවිය.