ඈෂ්ලි රත්නවිභූෂණ මුම්බායි අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ ජාතික ජූරියට

මැයි 26, 2022

ජ්‍යෙෂ්ඨ සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ 17 වැනි මුම්බායි අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ ජාතික ජූරියේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට නියමිතය. කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ සජීවිකරණ චිත්‍රපට වෙනුවෙන් පැවැත්වෙන මුම්බායි අන්තර්ජාතික චිත්‍රපට උලෙළ ඉන්දීය රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ චිත්‍රපට අංශය (Films Division) විසින් සංවිධානය කරනු ලැබේ. මෙවර චිත්‍රපට උලෙළ මැයි 29 වැනිදා සිට ජුනි 04 වැනිදා දක්වා මුම්බායිහිදී පැවැත්වේ. සිනමා ලේඛිකාවක, සිනමා හා ටෙලි නාට්‍ය ජූරි සභිකාවක හා චිත්‍රපට සංගම් ක්‍රියාකාරිණියක ද වන රංජනී රත්නවිභූෂණ ද මෙවර උලෙළේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආසියානු සිනමා කේන්ද්‍රයේ (AFC)  නිර්මාතෘ සහ සභාපති වන ඈෂ්ලි රත්නවිභූෂණ දේශිය සිනමාව බාහිර ලෝකයට ගෙන යාමට ප්‍රමුඛව දායක වූවෙකි. චිත්‍රපට විචාරකයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (FIPRESCI) සහ ආසියා පැෆිපික් සිනමාවේ ප්‍රවර්ධනය සඳහා වූ එකමුතුව (NETPAC)  සමඟ අන්තර්ජාතික චිත්‍රපට උලෙළ සහ දේශීය සිනමා උලෙළෙවල ජූරි ගණනාවක කටයුතු කළ ඔහු වර්තමානයේ ආසියා පැසිෆික් සිනමා ප්‍රවර්ධනය සඳහා වූ එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ ජූරි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේය. තවද ඔහු මොස්කව්, සිනෙමාලයා (පිලිපීනය) බැංගලෝර් අන්තර්ජාතික චිත්‍රපට උත්සව සඳහා උපදේශකවරයෙක් ලෙසද කටයුතු කරන්නේය.