කෘත ගුණය

මැයි 5, 2022

ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාරගේ කොස්ගස් හන්දියේ කොලු ගැටයා කෘතිය දොරට වැඩුම පසුගිය දින සිදුකෙරිණි. ප්‍රධාන දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කළ අතර ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශටත් එහි දේශනයක් පැවැත්වීමට අවස්ථාවක් හිමි විය. ඒ රන්ජිත් කුමාරයන් හා කුලරත්නයන් අතර පාසල් කාලයේදි සිට තිබූ මිතුදම නිසාවෙනි. ආනන්ද විදුහලේ ‘සෙවණ’ පුවත්පතේ සාමාජිකයන් වූ කුලරත්නයන් හා රංජිත් කුමාර දෙදෙනා ගජ මිතුරන් වූයේ එලෙසින්ය. රංජිත් කුමාරයන් නිසා ලේක්හවුස් ආයතනයට පළමුවරට පා තැබීමටත් එහිදී ප්‍රධාන කර්තෘවරුන් හඳුනා ගැනීමටත් අවස්ථාව උදාවූ බවද මේ දින සඳහන් කළේ සොම්නසිනි. ඒ අයුරින්ම ගායක පරපුර හඳුනා ගැනීමත් රංජිත් කුමාරයන්ගේ අඩිපාර උදවු වූ බව කුලරත්න ආරියවංශයන් සඳහන් කළේය. මේ කියූ දේවල් හරිම රසවත් බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේය. කුලරත්නයන්ද එයට හූ මිටි තියන්නට විය. ඒ සුනිල් ආරියරත්නයන්ගේ හා සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි අතර හමුවීම සිදු කළේත් රන්ජිත් කුමාරගේ මැදිහත්වීමෙනි. නිම්වළල්ල සිනමා පටයට පළමු ගීත රචනය ගේන්නට මහාචර් සුනිල් ආරියරත්නයන්ට උදව් කළේත් ඒ. ඩී. රන්ජිත් කුමාර බවද, යශෝධරා සිනමා පටය නිෂ්පාදනයට සිනේරූ නිෂ්පාදනයක් ලෙස සරසවිය අධිපති එච්. ඩී. ප්‍රේමසිරියන් හඳුන්වා දීමද ඔහු කළ බව එදා සභාව අමතමින් මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේය.