ගාමිණිගෙන් එකවර චිත්‍රපට දෙකක්

මැයි 5, 2022

රක්තා, මැණික් මාළිගා, දූ දරුවෝ, ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ගාමිණී හේවාවිතාරණ දිගු කලකට පසුව එකවර චිත්‍රපට දෙකක් නිර්මාණය කරමින් සිටියි. ඒවාහි සියලු වැඩකටයුතු කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර තිරගත කිරීමට සූදානමිනි. මෙම චිත්‍රපට නම් කොට ඇත්තේ සඳ දඩයම සහ යකඩ දියණියෝ නමිනි. මෙම චිත්‍රපට ද්විත්වයම එක නිෂ්පාදකවරයෙකු විසින් නිෂ්පාදනය කොට ඇති අතර තිර රචනය පුෂ්පකුමාර එල්ලාවලගෙනි. ස්තුතියි නැවත එන්න සිනමාපටය නිෂ්පාදනය කළ මංගල මඩුගල්ල සඳ දඩයම සහ යකඩ දියණියෝ චිත්‍රපටවල නිෂ්පාදකවරයාය. සඳ දඩයම සිනමාපටයේ නිල්මිණි තෙන්නකෝන්, විශාකා සිරිවර්ධන, කාවින්ද්‍යා දුල්ෂානි, චමීර ලියනගේ, සුමිත් මුදන්නායක ආදීහු රංගනයේ යෙදෙති. නව පරපුරේ නළු නිළියන් රැසක් හඳුන්වා දෙන යකඩ දියණියෝ සිනමාපටයේ ශිරාණි නුගේරා හා ශාන්ත ගාල්ලගේ ඇතුළු පිරිස චරිත නිරූපණය කොට තිබේ. රටේ තත්වය යහපත්වූ විගසම මෙම චිත්‍රපටය තිරගත කරන බව අධ්‍යක්ෂ ගාමිණී හේවාවිතාරණ සරසවිය දන්වා සිටී.