හැටේ කට්ටියට බුහුමන් පිදෙන silver screen සම්මාන උලෙළ

අප්‍රේල් 28, 2022

 

දෙවැනි වරට පවත්වන  Silver Screen  සම්මාන උලෙළ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරිම පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදි පැවත්විණි. මෙවර ඉන් සිදුකරනු ලබන්නේ හැටේ දශකයේ කලාකරුවන් ඇගයීමයි. ඒ අනුව 1960 -65 කාලය තුළ සිනමාවට පිවිසි කලාකරුවන්ට සම්මාන පුද කිරීමට නියමිතය.  Silver Screen  සම්මාන උලෙළේ සභාපතිත්වය දරන්නේ, ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දුය. රංගන ශිල්පිනී, සනෝජා බිබිලේ එහි ලේකම්ය. මේ සම්මාන උලෙළ එළඹෙන මැයි මස 06 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක, සුනිල් ටී ප්‍රනාන්දු අදහස් දක්වමින් කියා සිටියේ මෙලෙසය.

“අප අතරින් වෙන් වී ගිය ප්‍රවීණ රංගන ශිල්පි සුමිත් බිබිලේගේ සංකල්පයකට අනුව මෙම සම්මාන උලෙළ පැවැත්වීමටයි අපි කටයුතු සූදානම් කළේ. ඔහු ඉල්ලා සිටියේ කවදාහරි සිනමාව වෙනුවෙන් කැපවුණු නළු නිළියන් කාර්මික ශිල්පීන් හා මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාට සම්මාන උලෙළක් පවත්වන්න කියායි. එනිසා මෙය වර්ෂයක් පාසා පැවැත්වීමටයි අපි මේ වනවිට තිරණය කරලා තියෙන්නේ. ඒ අනුව පසුගිය අවුරුද්දේ සනෝජා බිබිලේ සමග එකතුවෙලා මේ ගැන කතා කළා. ඒ කතා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපිට ගිය අවුරුද්දේ මේ සම්මාන උලෙළ 50 දශකයේ ශිල්පීන් වෙනුවෙන් පවත්වන්නට හැකි වුණා. ඒක අපි සියලු දෙනාම ලබපු ජයග්‍රහණයක්. ඒ අනුව අපි තීරණය කළා හැටේ දශකයේ කලාකරුවන්ටත් මේ සම්මාන උළෙල පවත්වන්න. ඒ අනුව මෙවර සම්මාන උළෙල සඳහා හැටේ දශකයේ කලාකරුවන් තිස් දෙනෙකු සම්මානයට පාත්‍ර වෙනවා. ඔවුන් සඳහා සම්මානයත්, සහතික පත්‍රයක්, සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලු දෙනා වයස අවුරුදු 80 ට වැඩි අය. අද පවතින අමාරු කාලවකවානුවේ වුවත් අපි මේ දෙයට අත ගැහුවේ ඔවුන් වෙනුවෙන්මයි. මම චිත්‍රපට 75ක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙවැනි සේවයක් සිනමාව වෙනුවෙන් කරන්න බලන් හිටියේ. එනිසා මේ උලෙළට සභාපතීත්වය සැපයීම මගේ වාසනාවක් කියලා මම හිතනවා. මට සනෝජා බිබිලේ යෝජනාවක් ගෙන ඒම නිසා මෙයට එකතු වුණා. ඔසුර පදනමේ වසන්ත ජයවර්ධන හා විශ්ව ලංකා පෞද්ගලික සමාගම වෙනුවෙන් සත්‍යයනාදන් තිරුමුරුගන් මෙහි ස්වර්ණ අනුග්‍රාහකත්වයත් දරණවා. එය අපට ලොකු ශක්තියක්.”

ප්‍රවීණ රංගන ශිල්පිනී, සනෝජා බිබිලේ මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ‍“මගේ පියා 50 දශකයේ රංගන ශිල්පියෙක්. ඔහු මිය යාමට පෙර මගෙන් කලාව වෙනුවෙන් ඉල්ලීම් තුනක් ඉටු කරන ලෙස ඉල්ලා සිටියා. එහි එක් දෙයක් තමයි මේ සම්මාන උලෙළ පවත්වන්න කියපු එක. ඒ නිසා මම මුලින්ම අත ගැහුවේ මේ සම්මාන උළෙලටයි. 2021 වර්ෂයේදී අපි විද්වත් මණ්ඩලයක් මඟින් 50 දශකයේ තෝරා ගත්ත විවිධ අංශ නියෝජනය කරන කලා ශිල්පීන් සඳහා සම්මාන පිරිනැමීම සිදු කළා. මෙවර සම්මාන සඳහා අපි තෝරාගෙන තිබෙන්නේ 1960 - 1965 කාල වකවානුවේ ශිල්පීන් පිරිසක්. ඉන් පසුව 1966 සිට 1969 වනතුරු වශයෙන් අදියර දෙකකින් පැවැත්වීමටයි. . ඒ සියලු දෙනා සඳහා සුනිල් ටී ප්‍රනාන්දු මහතා සඳහන් කළ දේවල්වලට අමතරව තවත් ත්‍යාග අටක් සහ ඡායාරුපයක් ද පිරිනැමීමට අදහස් කරනවා. විශේෂ සම්මාන හතරක් පිරිනමනවා.”

මේ අවස්ථාවට රාජ් රණසිංහ, උපුල් නිශාන්ත, සුදේෂ් වසන්ත පිරිස්, නුවන්ගි ලියනගේ, ශාලිකා එදිරිසිංහ, ගයා ක්‍රිෂාණි, ශලිම් මෝහෝමඩ්, සුරේස් කුමාරසිංහ, සහන් පුනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වුහ.