ඇඬූ කඳුළින්ම කුමාර වේදිකාවේ

අප්‍රේල් 21, 2022

කුමාර තිරිමාදුරගේ වැඩිමහල් සොයුරිය සන්ධ්‍යා පසුගිය දින අභාවප්ප්‍රාප්ත විය. ඇය ඔහුට දෙවැනි අම්මා හා සමානයි. දෛවෝපගත සිදුවීම කියන්නේ කුමාර තිරිමාදුර ඉපදිලා තියෙන්නේ මේ අක්කා වැඩිවියට පත් වූ දිනයේදීමය. අම්මා හැරුණු විට කුමාර චිත්‍රපට බලන්න රැගෙන ගියේ මේ අක්කා. දිනක් අක්කා අතේ තිබුණු මුදල් අනුව එක් අයකුට පමණක් ඒ කාල වකවානුවේ ප්‍රදර්ශනය වුණු යකඩයා චිත්‍රපට බලන්න කතිකා කරගත්තා. ‘ගාමිණි ෆොන්සේකාට ආශා කරන කුමාර තමාට චිත්‍රපටය බලන්නට අවශ්‍ය බව පවසා අක්කා සමඟ චිත්‍රපට ශාලාවට ගියා. කථාව ආරම්භයේ සිට රූප රාමුවෙන් රාමුවට ඊළඟ සිදුවීම කුමාර කියන්න පටන් ගත්තා. දිගින් දිගටම කුමාර කථාවේ සිදුවීම් කියන්නේ කොහොමද කියලා අක්කා විස්මයට පත්වුණා. චිත්‍රපටයේ කථාව මඟක් දිගහැරෙන විට අක්කාගේ තියුණු නුවණට වැටහෙන්නට වුයේ කුමාර මෙම චිත්‍රපටය කලින් බලා ඇති බවයි. එක පාරටම අක්කා උඹ මේක කලින් බැලුවද? කියලා විමසු විට කුමාර ගල් ගිලපු ඉබ්බා වගේ බලාගෙන සිටින්නට වුණා. එදින වෙන අයෙකුට තිබූ අවස්ථාව උදුරා ගත් කුමාරට ශාලාව තුලදීම සන්ධ්‍යා අක්කාගෙන් පහර වදින්නට වුණා. එසේ ගුටි කෑ කුමාරට මේ සිදුවීම ජීවිත කාලයටම පාඩමක් වුණා.

මේ සියල්ල සිහිපත් කළ කුමාරට තාත්තාගේ හා අම්මාගේ අවමංගල්‍යයන්හිදී මුහුණු දුන්නා සේම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණු දීමට සිදුවුණා. එනම් අක්කාගේ දේහය නිවසේ තියන අතර සවස ගම්පහ හෝලික්‍රොස් විදුහලේ රංග ශාලාවේදී ‘කෝ කුක්කෝ’ වේදිකා නාට්‍යයේ රඟපෑමයි.

සේයාරූ - නිශ්ශංක විජේරත්න