සින්දු කියන විදුහල්පති

සරත් සේනානායක
ජනවාරි 27, 2022

 

“දේදුන්න මැකෙනවා...

ඔබ යන්න

සත් පාට නෙත් මානයේ...

බොඳ වෙන්න

විඳීමි රහසේ හුදකලා දුක

කමක් නෑ...

ඔබ යන්න”

හැර යන්න සැරසෙන ආදර කතාවක් මෙලෙසින් පවසන්නේ ගායන ශිල්පී සරත් සේනානායක. "කමක් නෑ ඔබ යන්න" ලෙසින් නම් වූ මෙම ගීතය මංජුල ධර්මප්‍රියගේ පද රචනයක්. එය සංගීතවත් කරන ලද්දේ සංගීතවේදී දර්ශන වික්‍රමතුංග විසිනි. මොහාන් නියාස් විසින් අධ්‍යක්ෂණය කළ එහි ගීත රචනය හැඩ වූයේ තනාෂා සතරසිංහ සහ ප්‍රසාද් වික්‍රමසිංහගේ රංගනයෙන්. "කමක් නෑ ඔබ යන්න" ගීතය ඉචපචබඩ ඉඥදචදචරචඬඥ නම් යූටියුබ් නාලිකාව ඔස්සේ රසවිඳීන්න පුළුවන්. සරත් සේනානායක වෘත්ති‍යෙන් විදුහල්පතිවරයෙක්. මේ ගීතය ගැන නිර්මාණය වූ අයුරු ඔහු පැවසුවේ මෙලෙසින්.

"සංගීතයට තිබුණු ලැදියාව නිසාම කවදාහරි දවසක ගීතයක් කරන්න ඕනි කියන බලාපොරොත්තුව කාලයක පටන් මගේ හිතේ තිබුණා. මේ ගීතයේ පදරචනය කළේ මංජුල ධර්මප්‍රිය නම් මගේ මිතුරෙක්. ඔහු විද්‍යා ගුරුවරයෙක්. යාළුවාගේ පදරචනය දැක්කාම එය මගේ මුල් ගීතය ලෙසින් ගායනා කරන්න තීරණ කළා. සංගීත ක්ෂේත්‍රයට දායක වෙන්න ලැබීම සතුටක්. මං හිතන්නේ මේ ගීතය, ලංකාවේ විදුහල්පතිවරයෙක් පළමුවරට ගීත ගායනට එක් වීමක් කියලයි".

 

සංගීත විෂයට උනන්දුවක් දැක්වූයේ කුඩා වියේ පටන්මද?

කුඩා වියේ පටන් සංගීතය මගේ ජීවිතයට ළං වුණා. මගේ අම්මාගේ ගම මහනුවර. තාත්තා කැබිතිගොල්ලෑවේ. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. තාත්තාට සංගීත හුරුවක් තිබුණා. ඔහු තබ්ලා වාදනයේ දක්ෂයෙක්. මමත් අවුරුදු පහේ පටන්ම සංගීතයට උනන්දු වුණා. තාත්තාගෙන් ඉගෙන ගෙන පාසලේ සංගීත වැඩසටහන් වෙනුවෙන් මමත් තබ්ලා වාදනය කළා. සාමාන්‍ය පෙළ වන තෙක් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයෙන් මම සංගීතය විෂයක් විදියට ඉගෙන ගත්තා. උසස් පෙළ විභාගයට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් පෙනී සිටියේ. ගාල්ල උණවටුණ ගුරු විද්‍යාලයේ පුහුණුවෙන් පසු විද්‍යා ගුරුවරයෙන් ලෙස ගුරු සේවයට එක් වුණා. විදුහල්පතිවරයෙක් විදියට පත්වීම් ලැබුවේ 2012 වසරේදීයි. දැනට මම කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයේ විදුහල්පති ලෙසින් කටයුතු කරනවා.

 

ඉදිරි සංගීත කටයුතු ගැනත් කියමු?

මේ වන විට තවත් ගීත කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා. නුදුරේදීම ඒවා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් එක ගීතයක සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ. ඒ ගීතය රචනා කළේ නිලාර් එන්.කාසිම්. මගේ පළමු ගීතය එක්ක සංගීතය තවත් හොඳීන් ඉගෙන ගන්න ඕනි කියලා හිතුණා. දැන් මම භාත්ඛණ්ඩේ මධ්‍යම විභාගයට සූදානම් වෙනවා. මගේ බලාපොරොත්තුව විශාරද මට්ටම දක්වා යෑමයි.