ජීවන ගීතය නිම කළ විශාරද නීලා වික්‍රමසිංහ

ජනවාරි 20, 2022

 

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නීලා වික්‍රමසිංහ පසුගිය 17 වැනිදා දිවි සැරියට සමු දුන්නාය. ඉතාලියේ මිලානෝ නගරයේදී හෘදයාබාධයකට ලක් වීමෙන් ඇය මියයන විට 71 වන වියේ පසු වූවාය. ඒ වන විට ඇය ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය.

හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මානයෙන් සිවුවරක් පිදුම් ලද නීලා වික්‍රමසිංහ ඉහළ ජනාදරයක් දිනා ගත් ගීත රැසක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළාය. 'රන් ටිකිරි සිනා', 'දෑතට වළලු', 'වියෝ ගී ගැයෙනා', 'පුංචි සිතේ පුංචි සිනා', 'බෝධියේ විහාරයේ' වැනි ගීත ඒ අතරින් කිහිපයකි. පණ්ඩිත් අමරදේව, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, ටී.එම්.ජයරත්න, රෝහණ බෝගොඩ, බණ්ඩාර අතාවුද, නෙලූ අධිකාරි, ප්‍රදීපා ධර්මදාස වැනි ගායක ගායිකාවන් වෙනුවෙන් තනු හා සංගීත අධ්‍යක්ෂණය කළ නීලා 'නිකිනි වැස්ස' ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරියද වූවාය.

නීලා වික්‍රමසිංහ සංගීත ක්ෂේත්‍රය ජය ගත්තේ කුඩා කල සිට පෝලියෝ රෝගයෙන් පීඩා විඳීමිනි. දශක දෙකකට වැඩි කාලයක් සංගීත ගුරුවරියක ලෙසින් කටයුතු කළ ඇය විශ්‍රාම ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ වසර අටක සේවා කාලයකින් අනතුරුවය. 2000 වසරේදී ඇය 'ද මදර්' නමින් සංවිධානයක් පිහිටු වූයේ වියපත් අසරණ කලාකරුවන්, වැඩිහිටියන්, ළමයින් සඳහා සමාජ සේවා කටයුතු වෙනුවෙනි. නීලා වික්‍රමසිංහ පිළිබඳ විශේෂ ලිපියක් ලබන සතියේ පළ වේ.