ප්‍රීතිමත් කොවිඩ් පවුල

ජනවාරි 13, 2022

සෝනු නිගම් කොවිඩ් 19 සඳහා තමාවම පරීක්ෂා කර ගැනීමෙන් වෙහෙසට පත්ව සිටින තරුවකි. මීට සති කිහිපයකට පෙර සෞඛ්‍ය සේවකයෙකු ඔහුට පරීක්ෂණයක් කරන ඡායාරූපයක් පළ කරමින් සටහන් කළේ 9,99,999 වැනි කොරෝනා පරීක්ෂණය යනුවෙනි. බොලිවුඩ් නිර්මාණ මියුරු හඬින් ගීතවත් කරන සෝනු ගැන මේ වන විට අසන්නට ලැබෙන්නේ තරමක් කනගාටුදායක පුවතකි. එනම් ඔහු ඇතුළු පවුලේ සැම කොවිඩ් 19 ධනාත්මක බවට පරීක්ෂණ වාර්තා ලැබී ඇති බවයි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ ඉන්ස්ටග්‍රම් වෙත පැමිණි ඔහු, බිරිය මධුරිමා සහ පුතු ද ඇතුළුව තමා වෛරසයට ගොදුරු වී සිටින බව පැවසීය. දැනට ඩුබායි හි ජීවත් වන සෝනු එම වීඩියෝව 'කොවිඩ් 19 සමඟ පුංචි පවුලට 2022 සුබ නව වසරක් වේවා' යනුවෙන් සටහන් කරමින් නිකුත් කළේය.

එම වීඩියෝවේදී ඔහු ගීත ගායනයක්ද ඉදිරිපත් කළේය. "අපට එය සමඟ ජීවත් වීමට සිදුවනු ඇති බව මගේ හැඟීමයි. වෛරස් උණ, උගුරේ අමාරුව පවතින විටදීත් මම ප්‍රසංගවලට සහභාගි වුනෙමි. දැන් තත්ත්වය ගොඩක් හොඳයි. මම මැරෙන්නේ නැහැ "ඔහු පැවසීය. කෙසේ නමුත් පවතින තත්ත්වය හේතුවෙන් තම පුතා සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබීම සතුටක් බවද සෝනු සඳහන් කළේය. ඇත්ත වශයෙන්ම 'ප්‍රීතිමත් කොවිඩ් පවුලක්' ඔහු පැවසීය.

සුපර් සිංගර් රියලිටි වැඩසටහනේ විනිශ්චය කිරීම සඳහා සෝනු හට භුබනේෂ්වර් වෙත යාමට සිදු වූ නමුත් නිරෝධායනයට ලක් වී සිටින බැවින් ඔහුට එහි යාමට නොහැකි විය. තමා නිසා සිදු වූ ප්‍රමාදය පිළිබඳ කනගාටු වන බවත් තමා වෙනුවට අනු මලික් පැමිණෙනු ඇති බවත් සෝනු පැවසීය.