කවියට පෙම් බැඳී සුජීවා

ජනවාරි 6, 2022

සුජීවා ලිලන්ති අබේසිංහ කවියට පෙම් බඳීන්නේ පාසැල් අවදියේදීයි. කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය නිරන්තරයෙන් පුවත්පත් වෙත සිය කාව්‍ය සංකල්පනා යොමු කළාය. 1978 වසරේ පටන් කාව්‍යකරණයේ නියැළෙන සුජීවා සිය පළමු කාව්‍ය එකතුව 'සිතුවිලි' නමින් නිකුත් කරන ලද්දේ 2018 වසරේදීය. ඇගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය 'සිතිවිල්ලෙන් එහා' කාව්‍ය එකතුව පසුගිය වසරේදී එළිදැක්වූවාය. එම කෘතිය මුහුණු පොතේ ඇය සටහන් කළ කවි එකතුවකින් සමන්විත විය. සොබා සෞන්දර්යය, ගජමන් පුවත, මනමේ කුමරිය, දස්කොන් ප්‍රමිලා, ටජ් මහල වැනි මාතෘකා එයට ඇතුළත් විය.

කවියට සේම ගීත රචනයට ඇල්මක් දැක්වූ සුජීවාගේ ගීත රචනා එක් කළ පළමු ගීත ඇල්බමය 'සිහිනයක් සේ' නමින් නිකුත් වී ඇත. "මලක් වී මා", "වැහි කළු බේරෙන", "සිළි සිළි නද දෙන" සහ "සිහිනයක් සේ" නමින් ගීත හතරක් එහි ඇතුළත් වී ඇත. සුසද රේඩියෝවෙහි සුසන්ත රනුක කුමාරසිංහගේ යෝජනාවක් අනුව නිර්මාණය වූ 'සිහිනයක් සේ' ගීත ඇල්බමයේ තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය නුවන් කෝදාගොඩ ගෙනි. ​සුජාතා 'බම්පියි රංචියි' නමින් ළමා කතා පොතක් ද එළිදක්වා ඇත.