ඛාන් සමාව අයදියි

දෙසැම්බර් 2, 2021

අමීර් ඛාන් සහ කරීනා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන 'ලාල් සිං චද්දා' ටොම් හැන්ක්ස් රඟපෑ 'ෆොරස්ට් ගැම්ප්' චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයයි. අද්වත් චන්දන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ලාල් සිං චද්දා' 2020 නත්තල් සමයේදී තිරගත වීමට සැලසුම් කර තිබූ නමුත් 2021 දක්වා කල්දැමීමෙන් අනතුරුව දැන් එය ලබන වසරේ අප්‍රේල් 14 වැනිදා තිරගත කෙරෙන බවට නිවේදනය විය. විජේ සේතුපති සහ මොනා සිං රංගනයෙන් දායක වන එහි සල්මාන් ඛාන් සහ ෂාරුක් ඛාන් ද ආරාධිත රංගනයන්ට එක් වී සිටිති. ඛාන් ත්‍රිත්වය එක් චිත්‍රපටයකට පෙනී සිටින පළමු අවස්ථාව ද මෙය වේ. ස්ථාන 100 කට වැඩි ගණනක යෙදි තිබූ 'ලාල් සිං චද්දා' චිත්‍රපටයේ රූගත කිරීම් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දීයාවේදී නිම කිරීමට නොහැකි වීම සමඟින් තුර්කියේදී එම කටයුතු සිදු කෙරුණි.

නවතම තොරතුරුවලට අනුව 'ලාල් සිං චද්දා' චිත්‍රපටය තිරගත කිරීමට තෝරා ගෙන තිබෙන්නේ සික් ජාතිකයන් විසින් සූර්ය අලුත් අවුරුද්ද ලෙස සැලකෙන බයිසාකි දිනය (අප්‍රේල් 14)යි. නමුත් ' සංජේ දත් රංගනයෙන් එක් වන 'කේජීෆ් 2' චිත්‍රපටය නිකුත් වීමද එම දිනයට යෙදී ඇත. මේ හේතුව නිසා ඇති වූ මතවාදය සම්බන්ධයෙන් අමීර් ඛාන් 'කේජීෆ් 2' චිත්‍රපට කණ්ඩායමෙන් සමාව අයැද සිටියේය. "මේ නිසා මම වෙනත් කෙනෙකුගේ භූමියකට අනවසරයෙන් ඇතුළු වන්නා සේ හැඟීමක් ඇති වුණා. නමුත් මම මගේ වෘත්තීය ජීවිතයේ පළමු වතාවට සික් ජාතිකයෙකු ලෙස රඟපාන නිසා 'ලාල් සිං චද්දා' ලබන වසරේ අප්‍රේල් 14 වන දින නිකුත් කිරීමට තීරණය කළා" ඔහු පැවසීය. තම අවශ්‍යතාවය තේරුම් ගත් 'කේජීෆ් 2' චිත්‍රපට කණ්ඩායම තමා හට ඉදිරියට යන ලෙස පැවසීමට තරම් නිහතමානි වූ බව අමීර් පැවසීය.