සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම නිසා රජයට සිනමා වෘත්තිකයන්ගේ ස්තූතිය

නොවැම්බර් 25, 2021

දේශීය සිනමා ඉතිහාසයේ ප්‍රථමවරට සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම පිළිබඳව සිය ස්තූතිය පිරිනමන බව ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුව පසුගිය නොවැම්බර් 22 වැනිදා කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

සිනමා කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳවත්, විශේෂයෙන්ම සිනමාව කර්මාන්තයක් බවට පත් වීමත් සමඟ ක්ෂේත්‍රයේ නියැළෙන වෘත්තිකයන්ට ලැබෙන වරප්‍රසාද හා පහසුකම් පිළිබඳවත් සංගමය තුළින් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන වැඩ පිළිවෙළ පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, කැමරා ‍අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, සහාය අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය, රංගන ශිල්පීන්ගේ සංගමය, සංස්කරණ ශිල්පීන්ගේ සංගමය,

අංගරචනා ශිල්පීන්ගේ සංගමය, චිත්‍රපට ප්‍රදර්ශකයන් ගේ සංගමය, කලා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය යන සංගම් හතක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුව සංවිධානගතව ඇත.

මෙහිදි අධ්‍යක්ෂවරුන්ගේ සංගමය නියෝජනය කරමින් බෙනට් රත්නායක, ආචාර්ය සෙනේෂ් දිසානයක බණ්ඩාර, අංග රචනා ශිල්පීන්ගේ සංගමය නියෝජනය කළ වසන්ත විට්ටච්චි, සිනමා කැමරා ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් චන්න දේශපිය, නළු නිළියන් නියෝජනය කරමින් දමිතා අබේරත්න, සහාය අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය නියෝජනය කළ චලින් මනුරංග, චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය නියෝජනය කරමින් ජනිත් විතානගේ අදහස් දැක්වූහ.

සිනමාව කර්මාන්තයක් බවට පත්වීම මඟින් අදාළ කැමරා උපකරණ හා ආම්පන්න නිසි ක්‍රමවේදයක් යටතේ ගෙන්වීම, වෘත්තිකයන්ගේ නිපුණත්වය ඉහළ දැමීම සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් හා විදේශීය රටවල සිනමාව සම්බන්ධවත් දේශීය සම්පත් උපයෝගී කර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මාධ්‍ය හමුවෙන් අනතුරුව සංගමයේ සමාජිකයන් සමඟ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සුහද කතාබහකටද සම්බන්ධ විය. එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ සිනමා වෘත්තීකයන් යම් ක්‍රමවේදයකට යටත්ව අමාත්‍යාංශය හා සම්බන්ධ විය යුතු බවයි. එම ක්‍රමවේදය කඩිනමින් සකසන ලෙස ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුවට අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ සංගමයට සම්බන්ධ සංගම් හතෙන් එක් සංගමයකින් දෙදෙනෙකු බැඟින්ද, චිත්‍රපට සංස්ථාවේ නිලධාරින්, අමාත්‍යාංශ නිලධාරින්, හා උපදේශන සභාවකින් සැදුම්ලත් කමිටුවක් තුළින් ඉදිරි වැඩකටයුතු සිදු කෙරෙනු ඇත.

මෙරට ප්‍රථම කථානාද චිත්‍රපටයට ලබන වසරේ ජනවාරියට වසර 75ක් සපිරෙන විටදී මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වී සියවසක් ගෙවී යද්දි එය කර්මාන්තයක් වශයෙන් පිළිගැනීම ඓතිහාසික සිදුවීමක් බවත්, නාමික තත්ත්වයේ පැවැති සිනමා කර්මාන්තය වෘත්තීය පිළිගැනීමකට පත්කර සිනමා කර්මාන්තකරුවන් සුරක්ෂිත කිරීමට රජය ඇතුළු ඊට මැදිහත් වූ සියලු පාර්ශ්ව ගත් ක්‍රියාමාර්ගයන්ට සමස්ත සිනමාකරුවන් වෙනුවෙන් සංගමය සිය ස්තූතිය පුද කළේය.

 

සේයාරූ - ගයාන් පුෂ්පික