මයික් ටයිසන් ඉන්දීය සිනමාවට

නොවැම්බර් 25, 2021

 

බොක්සිං කිව්වාම ඕනෑම කෙනෙකුට මතක් වෙන චරිතයක් තමයි මයික් ටයිසන්. "අයන් මයික්" සහ "කිඩ් ඩයිනමයිට්" යන අන්වර්ථ නාමයන් ගෙන් හඳුන්වනු ලැබූ මයිකල් ජෙරාඩ් ටයිසන් 'පෘථිවියේ නරකම මිනිසා' ලෙසින් ද හැඳීන්විය. 1985 සිට 2005 දක්වා තරග කළ ඇමරිකානු හිටපු වෘත්තීය බොක්සිං ශූර මයික් ටයිසන් ලොව සිටි විශිෂ්ට අධිබර බොක්සිං ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි. චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වූ ඔහු දැන් ලිගර් නම් ඉන්දීය සිනමා නිර්මාණයකට දායක වී සිටී.

ලිගර් යනු පූරි ජගන්නාද් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ක්‍රීඩා ක්‍රියාදාම චිත්‍රපටයකි. තෙළිඟු සහ හින්දි භාෂා වලින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ විජේ දෙවෙරකොන්දා සහ අනන්යා පාණ්ඩේ රංගනයෙන් දායක වෙති. මේ වන විට ලිගර් චිත්‍රපට කණ්ඩායම ලාස් වේගාස් හිදි මයික් ටයිසන් සහ විජේ දේවරකොන්දා සමඟ රූගත කිරීම් ආරම්භ කර ඇත. රූගත කිරීම් ආරම්භ කළ දිනයේ පටන් විජේ දෙවෙරකොන්දා සහ අනන්යා පාණ්ඩේ මයික් ටයිසන් සමඟ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීම විනෝදාංශයක් බවට පත් ගෙන අවසන්. එම ඡායාරූප සමඟ විජේ දෙවෙරකොන්දා සටහන් කළේ, "ඔහු මගේ නව ප්‍රියතමයා. වානේ ශරීරය සහ රත්තරන් හදවත. සිසිල් පුරාවෘත්තය" යනුවෙනි.

ලිගර් චිත්‍රපටය සටන් කලාව පදනම් කර ගෙන නිර්මාණය කර ඇති අතර විජේ දෙවෙරකොන්දා වෘත්තීය සටන්කරුවෙකුගේ චරිතයක් නිරූපණය කරයි. මයික් ටයිසන් ලිගර් හි දීර්ඝ ආරාධිත චරිතයකට පෙනී සිටිනු ඇත.