ශාරුක් සහ රාණිට යෂ් චොප්රාගෙන් බැණුම්

නොවැම්බර් 25, 2021

වීර්-සාරා චිත්‍රපටය 2004 වසරේදී තිරගත කෙරුණු ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් ප්‍රේමණීය හින්දි චිත්‍රපටයක්. යෂ් චොප්රා විසින් අධ්‍යක්ෂණය කළ එහි ශාරුක් ඛාන් සමඟ රාණි මුඛර්ජි සහ ප්‍රීති සින්ටා රංගනයෙන් දායක වූහ. 2004 වසරේ ජාතික චිත්‍රපට සම්මාන උලෙළේදී එය ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. මෑතකදී රාණි කපිල් ෂර්මාගේ වැඩසටහනට පැමිණි අවස්ථාවේදී අතීතයේ වීර්-සාරා චිත්‍රපටයේ සොඳුරු මතක රැසක් සිහිපත් කළාය.

ෂාරුක් සමඟ තමා කවදත් ආදර ජවනිකා කළ නමුත් වීර්-සාරා චිත්‍රපටයේ ඔහු තමා ඉදිරියේ සිටියේ, සුදු කොණ්ඩයක් ඇති වයසක මිනිසෙකුගේ හැඩරුවින් වූ බැවින් රූගත කිරීම් අතරතුර දෙදෙනාටම සිනහව නවතා ගත නොහැකි වූ බව ඇය පැවසුවාය. "මම ෂාරුක් එක්ක සීන් එකක් කරනවා නම් එයාගේ ඇස් දිහා බලාගෙන ආදරෙන් කතා කරන්න ඕනේ. එම දර්ශනයේදී පියා-දුව හැඟීමක් ඇති කළ යුතු වුවත් අප දෙදෙනාටම එය කළ නොහැකි වූණා. අපි දිගටම හිනා වුණා. අන්තිමේදී යෂ් මාමා අපිට කොච්චර බැන්නද කියනවා නම් අපි කලබල වෙලා ඒක හරියට කරන බවට දිවුරා පොරොන්දු වුණා. නමුත් ඇත්තටම එය ගොඩක් දුෂ්කර වුණා" ඇය වැඩිදුරටත් පැවසුවාය.

රාණි ඇයගේ නවතම චිත්‍රපටය වන බන්ටි ඕර් බබ්ලි 2 සමඟ පැමිණ අතර මේ වන විට ඇය බොලිවුඩයේ වසර 25 සම්පූර්ණ කර අවසන්. තම ගමන දෙස ආපසු හැරී බලා වයස අවුරුදු 16 දී ක්ෂේත්‍රයට පිවිසීම සිහිපත් කරන ඇය මධුරි ඩික්සිත් සහ ශ්‍රීදේවි, තමන් හැදී වැඩෙන විට රූප වන්දනා කළ තිර දේවතාවියන් බවත් පවසන්නීය. "වෙනස්වන කාලයත් සමඟ චිත්‍රපට ද වෙනස් වෙනවා. ඉන්දියානු නිළියන් විනිශ්චය කිරීමට මිනිසුන් භාවිතා කළ ප්‍රමිතින්ට වඩා වෙනස් වූ කටහඬක් ඇති සහ එතරම් උස් නොවූ මා වැනි අයෙකු ප්‍රේක්ෂකයෝ පිළිගත්හ. පසුගිය වසර 25 පුරාවට ඔවුන් මා ඉදිරියට ගෙන ඒම ගැන ස්තූතිවන්ත වෙමි" රාණි පැවසුවාය.