සශිත් නවෝදනගෙන් ‘අම්බපාලි’

නොවැම්බර් 25, 2021

පල්ලේකැලේ එළිමහන් සිර කදවුරේ සේවය කරන බන්ධනාගාර නියාමක සශිත් නවෝදන විසින් පසුගියදා 'අම්බපාලි' නමින් ගීත සී.ඩී. තැටියක් දොරට වැඩුම බන්ධනාගාර 'ඉසිඹුව' නිවාඩු නිකේතනයේදී බන්ධනාගාර පුනරුප්ථාපන කොමසාරිස් චන්දන ඒකනායකගේ හා පල්ලේකැලේ එළිමහන් සිර කදවුරේ බන්ධනාගාර අධිකාරී යූ. පී. ඩබ්. තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

අනුරාධපුර ශාන්ත ජෝසප් මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා 2008 වසරේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ සශිත් නවෝදන පාසැල් වියේදීම සංගීත ක්ෂේත්‍රයට පිවිසියේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලංකාවේ ප්‍රථම වතාවට නිලධාරීන් සහ නේවාසිකයන්ගේ සහභාගීත්වයෙන් 2019 වසරේ බන්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති 'ලලිත හරසර' ප්‍රසංගයටද දායකත්වය දැක්විය. වේදිකා ගීත ගායනයෙන්ද රංගනයෙන්ද දක්ෂතා දක්වන ඔහු ‍රැප් ගීත කලාවට අවතීර්ණ වී ඇත. සිංහල භාෂාවේ ගැඹුරු වචන යොදා කළ ‍නිර්මාණයක් ලෙස මෙම 'අම්බපාලි' ගීතය දැක්විය හැකිය.

එම උත්සව අවස්ථාවේදී 'අම්බපාලි' ගීතය අන්තර්ජාලයට මුදා හැරීම ද සිදු කළ අතර මේ වන විට එයට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතී. එමෙන්ම මෙම නිර්මාණය සාර්ථක ලෙස කරගැනීමට බන්ධනාගාර කොමසාරිස් තුමා, පල්ලේකැලේ බන්ධනාගාර අධිකාරී තුමා, ගීතය රචනා කර දුන් එච්. එම්. සී. හේරත් මහතා ගීතය සංගීතවත් කළ විශාරද අමිල වික්‍රමසිංහ මහතා ඇතුළු සහෝදර නිලධාරීහු ද සහයෝගය ලබා දුන්හ.

ඡායාරූප: සුනිල් ගුණවර්ධන - කුණ්ඩසාලේ සමූහ