නිළියක් වෙනවා කිව්වාම එදා මට හිනාවුණා

නිරංජලා කරුණාරත්න
නොවැම්බර් 25, 2021

ඇගේ නම නිරංජලා කරුණාරත්න. මේ වන විට නවක රංගන ශිල්පිනියක ලෙස ඇය නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දී තිබෙනවා. මේ ඇය පිළිබඳ හඳුන්වාදීමේ සටහනකි.

මට රංගනයට අවස්ථාව ලැබුණේ ෆේස්බුක් එක නිසා. ඒ හරහා මට අධ්‍යක්ෂ ක්‍රිශාන්ත වීරමන් හඳුනා ගන්නට ලැබුණා. ඔහු මා පිළිබඳ විස්තර අහලා ඔහුගේ පෝය නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලබා දුන්නා. විනෝද ටීවී යූටියුබ් නාළිකාව වෙනුවෙන් තමයි කරුණා සිසිල නමැති ඒ නාට්‍යය නිර්මාණය කළේ.

ඒ නාට්‍යය එළිදැක්වුවායින් අනතුරුව මට තවත් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා. ඒ අතර විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ සිවම්මා ධනපාල නාට්‍යය. එය ටෙනිසන් කුරේ විසින් තමයි වේදිකා ගත කරමින් සිටියේ. පසුව ක්‍රිශාන්ත වීරමන්ගේ අධීක්ෂණය යටතේ ඒ නාට්‍යය නැවත වේදිකාගත කරන්නට සූදානම් වෙනවා. මට එහි ගුණපාලි නැමැති චරිතය රඟපාන්නට ලැබුණා. ඇත්තටම ඒක මගේ රංගන ජීවිතයේ ලැබුණු මහඟු අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මට දැන් අවශ්‍ය රංගන ශිල්පිනියක් විදිහට ඉස්සරහටම යන්න. මේ වෙලාවේ මට පාසලෙන් ලැබුණු එක්තරා අත්දැකීමක් ගැන මතක් වෙනවා. එතකොට මම පහ වසරේ හෝ හය වසරේ. අපේ පන්ති භාර ගුරුතුමා ඇවිත් ඇහුවා ලොකු වුණාම කව්රු වෙන්නද කැමති කියලා අනිත් අය එක එක දේවල් කියද්දී මම නැගිටලා කිව්වේ මට නිළියක් වෙන්න ඕනේ කියලා. හැමෝම ඒ වෙලාවේ මට හිනාවුණා. මට ඒ අත්දැකීම ජීවිතයට තදින් කාවැදුණා. අද වන විට මම ඒ සිහිනය සැබෑ කරගෙන තියෙනවා. රංගනයට අමතරව මම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහටත් වැඩකටයුතු කරගෙන යනවා. විවිධාකාර චරිත රඟපාන්න තමයි මම කැමැත්තෙන් ඉන්නේ. විශේෂයෙන්ම දුප්පත් චරිතයක් රඟපාන්න තියෙනවා නම් මම කැමතියි. වේදිකාව, ටෙලිවිෂනය, සිනමාව කියන අංශ ත්‍රිත්වයේම රංගන දායකත්වය ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා. මගේ ගම කන්තලේ. කන්තලේ ශ්‍රී සීවලී විදුහලෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. වර්තමානයේ මමත් කොළඹ පදිංචි වෙලා ඉන්නවා. මම විවාහකයි. මගේ ස්වාමිපුරුෂයා ජනිත් කෝසල. මේ වෙලාවේ මගේ කලා කටයුතුවලට ඔහු ලබා දෙන සහයට මම ස්තූතිවන්ත වෙනවා. මට දැනට චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියනවා. ඒකෙ නම රයිඩර්. රජිත හිරාන්, අපේ පිංපොං අයියා තමයි එය නිර්මාණය කරන්නෙ.