අහන්න අලුත් ගී පොකුරක්

නොවැම්බර් 18, 2021

 

කොරෝනා වසංගතය සමග පැවති ලොක්ඩවුන් කාල වකවානුවේ සහ ඊට පෙර කාලය ශ්‍රමය කැප කරමින් කළ නිර්මාණ ප්‍රයත්නයන් රසික ඔබ හමුවේ තැබීමට ගායන ශිල්පීන් උත්සුක වන බවක් පෙනෙනවා. ඒ අතරින් ඔබට අසා රසවිඳීය හැකි ගීත කීපයක් ඔබ හමුවේ තබන්නට අප තීරණය කළා.

අන්සතු ඔබ

- තිසර වීරසිංහ

"අන්සතු ඔබ" සමාජ මාධ්‍යවල පසුගිය වකවානුවේ ආන්දෝලනාත්මක කතාබහකට ලක් වුණු ගීතයක්. ප්‍රේම කතාවල සම්මත අසම්මතබව ගැන සමාජ මාධ්‍යයේ අවධානය ලක් වුණු මේ ගීතයට හඬ මුසු කරන්නේ තිසර වීරසිංහ. ඔහුගේම තනුවකට නිර්මාණය වුණු "අන්සතු ඔබ" ගීතයේ පදවැල් රුශාන් සිල්වාගෙන්. ගීතයටත් වඩා මෙහි ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේ වෙනස් ආරකින් නිර්මාණය කළ රූපරචනාව. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සේවියර් කණිෂ්ක සහ නිපුණි පූජිත රඟන මේ රූපරචනාවෙන් අසම්මත ප්‍රේමකතාවක් නිරූපණය වෙනවා. නිම්න දේවපුර විසින් නිර්මාණය කළ මේ රූපරචනාව සංස්කරණය කිරීමකින් තොරව එකම කැමරා කෝණයකින් රූගත කර තිබීම විශේෂයක්. තමන්ට හිමි කරගත නොහැකි වුණු අන්සතු ප්‍රේමයක මිහිර විඳීන පෙම්වතුන් සඳහා නිමකළ මේ ගීය සඳහා ඇගයීම් මෙන්ම විවේචනත් බොහෝයි.

 

ජොලි ජලජේ -

බිමල් ජයකොඩි

බිමල් ජයකොඩි හැමෝම දන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස පමණයි. ඔහුගේ ගායන හැකියාව විවිධ ටෙලිවිෂන් වැඩසටහන් මඟින් ඔබ දැක ඇති. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නාට්‍යයේ වීරවර්ණගේ චරිතයට පණපොවන්නේ බිමල් ජයකොඩි. මේ ටෙලිනාට්‍යයේ අපූරු ගීතයකට ගායනයෙන් මෙන්ම රංගනයෙන් ඔහු දායක වෙනවා. "ජොලි ජලජේ" නම් එම ගීතයේ තනුව සහ සංගීතය සංයෝජනය කර ඇත්තේ අශාන් ප්‍රනාන්දු විසින්. දුමින්ද අලහෙන්ද්‍රගේ වචනවලින් හැඩවුණු මේ ගීතයේ වීඩියෝපටය නිෂ්පාදනය කර ඇත්තේ හිරු නාළිකාව විසින්. පියවරු කොහොමත් වැඩිපුර ආදරේ දියණිවරුන්ට කියලා කතාවක් තියෙනවා. වීරවර්ණ කියන්නේ තම එකම දියණිය තමන්ගේ මුළු ලෝකයකම කරගත්ත පියෙක්. එවැනි පියෙක්ට දියණියගේ උපන්දිනය ජයටම සමරන්න තවත් හේතු ඕනේද? දියණියගේ උපන්දින සාදයේදි මධුවිතෙන් සප්පායම් වී නටමින් ගයන මේ ගීතයට බිමල් තමන්ගේ හඬ වගේම රංගනයත් අපූරුවට එකතු කරලා තියෙනවා.

 

 

කළුවරට හිත බය හින්දා -

රයිනි චාරුකා

ක්ෂේත්‍රයේ විවිධ අත්හදා බැලීම් කරමින් නව නිර්මාණ කරන රයිනි චාරුකාගේ නවතම ගීතය වන "කළුවරට හිත බය හින්දා" පසුගියදා එළිදැක්වුණා. මනුරංග විජේසේකරගේ අලංකාර පදවැල්වලින්ද දිනේෂ් ගමගේගේ මියුරු නාද රටාවලින්ද හැඩවුණු මේ ගීතයේ සංගීත සංයෝජනය කර ඇත්තේ අමිත් ගුරු විසින්. රයිනි මේ ගීතය සඳහා අපූරු රූපරචනාවක් නිර්මාණය කළා. එම රූපරචනාව අධ්‍යක්ෂණය කළේ සතීෂ් රත්නරාජා. එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රයිනි චාරුකා සහ දර්ශන් තවරාජා. සම්මානනීය රංගන ශිල්පිනී නිරංජනී ෂන්මුගරාජා සහ ගීත රචක මනුරංග විජේසේකර එහි උප ප්‍රධාන චරිත නිරූපණය කිරීම විශේෂයි. මිනිස්සු ඇසට පෙනෙන කළුවරට කොහොමත් බයයි. ඒත් ඇසට නොපෙනෙන හිතේ කළුවරට ඊටත් වඩා බයයි. ඉදිරිය ගැන අවිනිශ්චිතව නව ජීවිතයක් අරඹන යුවළකගේ ජීවිත එසේ කළුවර විය හැකිද? ඔවුන්ගේ ජීවිතවලට දැනෙන පෙනෙන ආදරේ විඳගන්න හැකිවෙයිද? රයිනිගේ මියුරු හඬින් සැනසෙන්න, රසවත් රූපරචනාවක් නරඹන්න අවැසි නම් මේ ගීය රසවිඳීන්න.

 

සිනහව මුවගින්

- උමාරා සිංහවංශ

- රුවන් හෙට්ටිආරච්චි

 

 

සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් දෙපළක් එක් වී ගීත නිර්මාණය කිරීම ප්‍රවණතාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් දෙපළක් එසේ නවමු ගීතයක මිහිර ඔබ හමුවේ තබනවා. "සිනහව මුවඟින්" නම් වන මේ ගීතය ගායනා කරන්නේ උමාරා සිංහවංශ සහ රුවන් හෙට්ටිආරච්චි විසින්. එහි පදරචනා කර ඇත්තේ මාලන් රණසිංහ. චතුර ප්‍රසාද් පෙරේරාගේ මියුරු නාද රටාවලට සුගත් හෙට්ටිආරච්චි විසින් සංගීත සංයෝජනය කරලා තියෙනවා. කෝඩුකාර සිතකට ප්‍රේමණීය හැඟුම් පැමිණි විට කෙසේ වන්නට පුළුවන්ද? ඇය සිනාසුණත් ඇති සිරිකත කැන්ඳන්න. පියවි ලොව අන් සියල්ලම පරයා ඔහුට දිස්වන්නේ ඇගේ කෙහෙරැල් පවනට සැලෙන සැටි, දිගුවන් නයනින් කරන ඉඟිබිඟි පමණයි. ප්‍රේමයේ හැටි එහෙමය. පෙම් කළ, පෙම් කරන, ඔබ සැමට උමාරාගේ ගීතවත් හඬ සහ රුවන්ගේ ප්‍රේමණීය හඬ කදිමට මුසු වුණු මේ ගීතයෙන් ප්‍රේමණීය අත්දැකීමක් ලබන්න පුළුවන්.

 

 

 

හදිසිද මන්දා

- කාංචනා අනුරාධි

 

 

කාංචනා අනුරාධි කියන්නේ නව පරපුරේ සුමධුර කටහඬක් හිමි දක්ෂ ගායන ශිල්පිනියක්. ඇගේ නවතම ගීතය "හදිසිද මන්දා" සඳහා පදවැල් සහ තනුව නිර්මාණය කළේ දනිත්ශ්‍රී විසින්. නිර්මාණ අධ්‍යක්ෂ චමිල් පතිරණ මේ ගීතය සඳහා අලංකාර රූපරචනාවක් නිර්මාණය කර ඇති අතර කාංචනා අනුරාධි සහ රංගන ශිල්පී රන්දික ගුණතිලක ඒ සඳහා රංගනයෙන් දායක වෙනවා. අසුරු සැණින් කුපිත වන සැමියෙක් හා ගෙවන කුටුම්භගත ජීවිතයකදී ගැහැනිය විඳීන දුක්ඛ දෝමනස්සයන් කෙසේද යන්න එමඟින් අර්ථාන්විතව නිරූපණය කරනවා. හදිසි වී ජීවිතයේ ගනු ලබන යම් යම් තීරණවල විපාක පසුව විඳීන්නට වන බවත් එහි අවසන් ප්‍රතිඵලය ලෙස අනුකම්පා විරහිත හැඟීම් රහිත ගැහැනියක් නිර්මාණය වන බවත් මේ ගීතයෙන් කියැවෙනවා. සමාජය තුළ ජීවත් වන එසේ අහේතුක ලෙස ගැරහුම් ලබන, තාඩන පීඩන විඳීන කාන්තාවන්ගේ පොදු ශෝකාලාපයක් ලෙස මේ ගීතය හඳුන්වන්න පුළුවන්.

 

 

පියවී

- ධයාන් හේවගේ

ප්‍රේමයේ සුලලිතබව විඳී, තමා ප්‍රාණසම ලෙස පෙම්කෙරූ මිහිරාවගේ සේයා හද සන්තානයෙන් ඈතට පාවෙන විට පෙම්වතෙකුට දැනෙන පාළුව කෙතරම්දැයි සිතාගනු රිසිද? ධයාන් හේවගේ ගයන පියවී ගීතය අසන්න. ඔබට එහි වේදනාව වැටහෙයි. ගායන ක්ෂේත්‍රයට එන නවකයන් ස්වතන්ත්‍ර ගීත නිර්මාණ කරන්නේ අඩුවෙන්. ගීතයක පදරචනය සහ තනුව ගායන ශිල්පියා විසින්ම නිර්මාණය කළ ගීත ඇත්තේද අල්පයයි. ධයාන් හේවගේ කියන්නේ හා හා පුරා කියලා ගීත ක්ෂේත්‍රයට පාතබ නවකයෙක්. පියවී ගීතයේ පදවැල් සේම තනුවත් නිර්මාණය වී ඇත්තේ ඔහු අතින්. මේ ගීතයේ සංගීත සංයෝජනය කර ඇත්තේ මිහිරු සේනාරත්න විසින්. නව ගීතමය අත්දැකීමක් සමඟ විරහව රසවිඳීන්න මේ ගීතය සැනසිල්ලේ ශ්‍රවණය කරන්න.