මැණිකේට කලින් ඉන්දියාව හෙල්ලූ සුරංගනී

- ඒ.ඊ.මනෝහරන්
නොවැම්බර් 4, 2021

 

උඩරට මැණිකේ තනුවට මනෝහරන් දමිළ බස යොදා පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයට ගීතය ගායනා කළේය

 

ඉන්දියාවේ තිරගත වූ Thee නමැති දෙමළ චිත්‍රපටයේ රැජිනි කාන්ත් සමඟ රඟපෑමට ඔහුට වාසනාව හිමි විය

 

මනෝහරන් දෙමළ ගායකයකු වුවද වැඩිපුර ගායනා කරන ලද්දේ සිංහල ගීතයි

 

මනෝහරන්ගේ ගායන දිවියේ ප්‍රවේශය ඔහු විසින්ම රචනා කළ ගායනා කරන ලද ‘කාක්කා’ නැමැති ළමා පරපුර වෙනුවෙන් ගැයුණු දෙමළ ගීතයයි

 

ගීතයක ජනප්‍රියත්වයට එහි පදමාලාව, සංගීතය, ගායන ශෛලිය යන තෙවැදැරුම් අංශ සෘජු ලෙස බලපාන නමුදු ඇතැම් ගීතවලට එම නිර්ණායක බලපාන්නේ නැත. සාහිත්‍ය රසාස්වාදයක් නොමැති සරල බොළඳ පදමාලා වුවද හදවතට සමීප සංගීත රිද්මයකින් සහ නව ආරක ගායන ශෛලීයකින් ගැයුණු අවස්ථාවලදී ගීත ලොලීන්ගේ මනදොළ සපුරමින් රසික ප්‍රසාදයට ලක්වීමට එම ගීත සමත්විය. එයට හොඳම නිදසුන වන්නේ වර්තමානයේ දෙස් විදෙස් රසික රසිකාවන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයයි.

අදින් වසර 50කට පෙරාතුව රසික සිත් සතන් ආදරයෙන් වැලඳගත් අදවන් අඛණ්ඩ ජනප්‍රියත්වයක් දිනාගත් සරල පද මාලාවකට 6-8 සංගීත රිද්මයට ‘ බයිලා‘ ආරට ගැයුණු ගීතයක් විය. මංගල උත්සව, ප්‍රියසම්භාෂණ විනෝද ගමන් ආදියෙහි රසිකයන්ට ආස්වාදයක් ලබා දුන් මේ ගීතය ශ්‍රී ලාංකීක රසික ප්‍රසාදය අබිබමිවන් භාරතයේ අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වී සිංහල බසට අමතරව දමිළ, හින්දි, මලයාලම්, තෙළිඟු ආදී භාෂා සමුහයකින් ගැයීම අරභයා විදෙස් රටවල ප්‍රේක්ෂකයන් අතරේද ජනප්‍රියත්වයක් දිනාගත්තේය.

 

විවිධ සංගීත කණ්ඩායම්

විවිධ ගායකයන්ගේ හඬින් මේ ගීතය ගයනු ලැබුව ද ගීතයේ උරුමක්කාරයා ඇන්ටන් පිල්ලේ එම්මෑනුවෙල් පිල්ලේ මනෝහරන් නොහොත් සංගීත ලොලීන් අතර ජනප්‍රියව සිටි ඒ.ඊ.මනෝහරන්ය.

සුරංගනී//

සුරංගනීට මාළු ගෙනාවා //

ලැජ්ජ නැද්ද මේ

පාරේ අඬන්නේ

වටින් පිටින් බලාසිටිනවා.

ඔයා අඬනවා ඔයාගේ

ඇස් රතුවෙනවා

බලා ඉන්න මටත් ඇඩෙනවා.

සුරංගනී..//

තෝර මෝරු තෝරලා ගන්න.

මේවා අරන් ගෙදර යන්න

සල්ලි එපා අරන් යන්න

හොද්ද උයලා මට එවන්න

බයිලා රජු

බයිලා කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, සංගීත ක්ෂේත්‍රය තුළ බයිලා යන නාමයට අනන්‍යතාවයක් ගොඩ නඟා දී මෙහිලා පුරෝගාමී මෙහෙවරක යෙදුණු පුද්ගලයෙකු විය. ඔහු ශ්‍රී ලංකාවේ ‘බයිලා රජු‘ යන විරුදාවලිය ලත් වොලී බැස්ටියන්ය. සංගීත නිර්මාණකරණයේ අති දක්ෂයකු වූ ඔහු වයලීනයෙන් පෙළහර පෑ දක්ෂ සංගීතවේදියකි. ශ්‍රී ලාංකීකයන්ගේ හද ගැස්මේ රාවයට වඩාත් සමීප වූ 6 - 8 රිද්මයට ඔහු ගී පද ලියුවේය. අයිරින් ජොසපින්, නෝනා මගේ නර්ස් නෝනා ආදී ගීත ගණනාවක් ඔහු විසින්ම සංගීතවත් කරමින් සහ ගේය පද රචනා කරමින් ගැයූ ගීත විය. ඒ අරඹයා ‘බයිලා‘ ගීතයට පෙම් බැඳී රසික පිරිසක් සංගීත ලෝලීන් අතර බිහිවිය.

 

ගේය පද රචකයෙක්

උපතින් රෝමාණු කතෝලිකයකු වූ ඔහු ඉංග්‍රීසි බස උච්චාරණය කරමින් බටහිර පන්නයට හැදි වැඩුණ ද, පිරිවෙනක් අශ්‍රිතව ගත කළ ජීවිතය ඔහුට ගේය පද රචනයට මං පදා දුන්නේය. ඔහු සතු වුයේ ව්‍යක්ත සිංහල, කාව්‍යමය රසය උද්දීපනය කෙරෙන ගේය පද රචනා නොවේ. ඉතා සරල පද මාලාවන්ය. ඔහු නිර්මාණය කළ සත්සර රටාවන් නිසා වසර 50ක් ඉක්මවුවද වොලී බැස්ටියන්ගේ සියලුම ගීත නිර්මාණ අදටත් බෙහෙවින් ජනප්‍රියය.

තමා විසින් ගැයූ ගීත පමණක් නොව වෙනත් ගායකයින් විසින් ගයන ලද ‘බයිලා‘ ගීත බොහෝමයක නිර්මාතෘ ඔහුය. ඔහු පද මාලාව සහ සංගීතය නිර්මාණය කොට වෙනත් ගායකයන්ට ගීත පරිත්‍යාග කළේය. ඩෙස්ටන් ද සිල්වා ගැයූ සමහර ගීත, වැක්ස්මෙල් මෙන්ඩිස් ගැයූ ගීත බොහෝමයක නිර්මාණකරුවා වොලී බැස්ටියන්ය.

වොලී බැස්ටියන් ඒ.ඊ. මනෝහරන්ට ද ගීත දයාද කළේය. ඒ අතුරින් ගීත දෙකක් විය. ‘සුරංගනීට මාළු ගෙනවා‘ සහ පුන්සඳ පායා‘ මොරටුව මේ ගීතයි. මේ ගීත පිටුපස ඇත්තේ අපුරු කතාවකි.

 

උගුරේ ආබාධයක්

ඒ 1972 වසරයි. වොලි බැස්ටියන් තමා විසින්ම ගේය පද රචනා කොට ඔහු විසින්ම සංගීතවත් කළ සුරංගනීට මාළු ගෙනාවා‘ ගීතය සහ ‘පුන්සඳ පායා මොරටුව‘ යන ගීත දෙක ඔහුගේම හඬින් සුරිය ලේබලය යටතේ තැටි ගත කිරීමට ජෙරල්ඩ් වික්‍රමසුරියගේ සුරිය ශබ්දගාරයට ගියේය. ශබ්දගාරයේ යම්කිසි ගැටලුවක් මතු වූ බැවින් තැටිගත කිරීම දින කිහිපයකට කල් තැබිණි. ශබ්දගාරයේ අඩු වැඩි සියල්ල නිම කොට වොලි බැස්ටියන්ට ගීතය පටිගත කරන ලෙස ඇරයුම කළේය. වොලී බැස්ටියන්ගේ අවාසනාවකට දෝ ඔහුගේ උගුරේ ආබාධයක් ඇති වී ගීත ගැයීමට නොහැකි තත්ත්වයක් උදාවිණි. පරිත්‍යාගශිලි පුද්ගලයකු වූ වොලී බැස්ටියන් එවකට, ජනප්‍රියව සිටි ඒ.ඊ. මනෝහරන්ට ‘සුරංගනී‘ සහ ‘පුන්සඳ පායා‘ ගායනා කිරීමට අවසර ලබා දුන්නේය. මේ ගීත දෙක සුරිය ලේබලය යටතේ තැටි කෙරෙණි. නොසිතු විරු ලෙස ගීතය අතිශයින් ජනප්‍රිය වෙමින් විශාල රසික ප්‍රසාදයක් දිනා ගත්තේය.

 

සුරංගනීට ඉල්ලුමක්

දමිළ ගීත ගායකයකු ලෙස නමක් දිනා සිටි මනෝහරන් ‘සුරංගනීට ‘ ලද අතිශය ජනප්‍රියත්වය නිසා ඔහු විසින්ම මෙම ගීතය දෙමළ බසට පරිවර්තනය කොට ඔහුගේ හඬින්ම ගැයීමත් සමඟම ශ්‍රි ලාංකීක ද්‍රවිඩ රසිකයන් අතර ද ගීතය ජනප්‍රිය විය. නිතර ගීත ප්‍රසංගවලට සහභාගි වීමට ඉන්දියාවට යන මනෝහරන් සුරංගනී ගීතය දමිළ බසින් ඉන්දියාවේ තැටිගත කිරීමෙන් අනතුරුව භාරතයේ අස්සක් මුල්ලක් නෑර සුරංගනී දෙමළ ගීතය අතිශයින් ජනප්‍රිය විය. අනතුරුව ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල උච්චාරණය කරන භාෂාවන් වන හින්දි, තෙළිඟු, මලයාලම් කන්නඩ ආදී භාෂා වලින් කතා කරන රසිකයන්ගේ රසාස්වාදය පිණිස සුරංගනී විවිධ භාෂාවලින් ගැයිනි. ‘සුරංගනී‘ ට ලද ඉල්ලුම කෙසේ ද යත්, මනෝහරන්ගේ ගීත අතරින් විදෙස් ප්‍රසංග වේදිකාවේ වැඩිම ඉල්ලුමක් තිබු ගීතය බවට පත්වුයේ ද සුරංගනී ගීතයයි.

 

දෙස් විදෙස් ජනප්‍රියත්වය

බයිලාව ගර්භිත කලාවක් ලෙස පවසමින් සාහිත්‍ය රසාස්වාදයට, සමාජ මෙහෙවරට, පමණක් මුල් තැන දුන් එදවස විචාරකයන්, ප්‍රබුද්ධයන් බයිලාවට විරෝධය පාමින් විවිධ මතිමතාන්තරවල එල්බගෙන සිටි අතර ගුවන් විදුලියේ ‘බයිලා‘ ගීත වාරණයට පවා ලක් විය. එපමණක් නොව බයිලා ගීත ගායනා කරන්නන් ‘බයිලා කාරයා‘ ලෙස අවකත්සේරුවට ලක්කරමින් නිර්දය ලෙස විවේචනය කෙරිණි. අපට පවා ඔස්කර් නමුත් එදා අපේ දේශීය අනන්‍යතාවය ගොඩනඟා ගත් ගීත අබිබවා මනෝහරන්ගේ සුරංගනී විවිධ රටවල් අතරට ජනප්‍රිය විය. ඒ බව එදා බො‍හෝ දෙනාට ඒත්තු නොගියේ අද මෙන් අන්තර්ජාල පහසුකම් you tube, whatsapp, Instergram  ආදිය නොතිබුණු හෙයිනි.

 

සුරංගනී ද්‍රවිඩ චිත්‍රපටවල

පසු කාලීනව ‘සුරංගනී‘ ගීතය භාරතයේ චිත්‍රපට කිහිපයකට යොද ගත්තේ මනෝහරන් ද විස්මයට පත් කරවමිනි. පන්දයන්, දිහිල්, දිල්ලි යන ද්‍රවිඩ චිත්‍රපට තුනටම ‘සුරංගනී‘ දමිළ ගීතය ඇතුළත් වූ අතර ඒ ඒ චිත්‍රපටවල පසුබිම් ගී ගැයූ සුප්‍රසිද්ධ ගායකයන් විසින් ගීතය ගායනා කරන ලදී.

 

සිංහල ගීත ගායනයට

මනෝහරන් ද්‍රවිඩ ගායකයකු වුවද වැඩිපුර ගායනා කරන ලද්දේ සිංහල ගීතයි. ‘ඔහු ගැයූ සිංහල ගීත රචනා කළේ හඩ්සන් සමරසිංහ, හේමසිරි හල්පිට ආදීන්ය. මනෝහරන්ගේ ගායන දිවියේ ප්‍රවේශය ඔහු විසින්ම රචනා කළ ගායනා කරන ලද ‘කාක්කා‘ නැමැති ළමා පරපුර වෙනුවෙන් ගැයුණු දමිළ ගීතයයි. ගංගා යමුණා, නැන්දා උසයි මාමා කොටයි, මේ රෑ සීත යාමේ, මාමා හිතන්නේ, සුකිරි කෙල්ලේ, අතින් අත ගෙන මා, ඉර සඳ තරු නිවී ගියත්, ඔබේ සිනාමල් හඬ, ගහන රබන්, පිස්සුමල, ලයිලා, අපේ ආදරේ, බයිලා සාත්තරේ, කුමාරි, ඔබේ සිනා හඬ, සඳතරු,ලිලී අක්කේ, අඟේ ඉඳන් කන කන්නෝ, සොඳුරු සිනා, සුදු මේරි, රෝස කැකුළ ආදී සිංහල ගීත ගණනාවක් ඔහු ගායනා කළේය. ඔහු ගැයූ ‘කෝ රංජනී‘ ගීතය සිංහල දෙමළ භාෂා දෙකින්ම ගැයුණු අතිශයින් ජනප්‍රිය ගීතයක් විය. ක්ලැරන්ස් විජේවර්ධනගේ ‘කඳ සුරිඳුණි‘, ජීප්සිස්ගේ පිටි කෝටපන් නෝනේ, ලාංකීකා පෙරේරා කිමද නාවේ, මැක්ස්වෙල් මෙන්ඩිස් හායි හායි බබී ආච්චි. ඩෙස්මන් ද සිල්වා යන්න රට වටේ, අයිරින් ජොසපින් ආදී ගීත මනෝහරන් විසින් දමිළ බසින් ගායනා කර ඇත.

 

ජාතින් අතර සංහිදීයාවට ගීතයක්

මනෝහරන්ට පසුකාලීනව වඩාත් සමීප වූ ගායනා ශිල්පියා වුයේ රජීව් සෙබස්තියන්ය. රජිව් මනෝහරන්ට නවතම ගීත කිහිපයක් නිර්මාණය කර දුන්නේය. 2001 වසරේ ක්ලැරන්ස් විජේවර්ධන උපහාර උලෙළේ දී ක්ලැරන්ස් නිර්මාණය කළ කඳ සුරිඳුනි ගීතයේ සිංහල පද පේළි රජීව් සෙබස්තියන් විසින් ද, දමිළ පද මනෝහරන් විසින් ද, ගායනා කරුණු ලැබුවේ ක්ලැරන්සට උපහාර පිණිසය. සිංහල දෙමළ ජාතින් අතර සංහිදියාව වෙනුවෙන් රජීව් මනෝහරන්ට ගීතයක් නිර්මාණය කර දුන්නේය. ‘රටක් වටිනවා ගීතය‘ සංගීතය ප්‍රති නිර්මාණය කර රජීව් විසින් පද රචනය ලියූ මෙම ගීතයේ සිංහල පද ගායනා කරන ලද්දේ ඩෙස්මන් ද සිල්වා විසින් වන අතර දමිළ කොටස් මනෝහරන් විසින් ගායනා කරනු ලැබිය. ශ්‍රී ලංකාවේ වටිනාකම ගැන කියැවෙන මෙම ගීතයේ පද මාලාව 6 වැනි ශ්‍රේණියේ දමිළ සමාජ අධ්‍යයන පොතේ ලේඛනගත වී ඇත. රජීව් විසින් මනෝහරන්ට ව්ධද ඵබධන සංයුක්ත තැටියක් ද නිර්මාණය කර එය ද ඉතා ජනප්‍රිය විය.

 

රංගන ශිල්පියෙක්

මනෝහරන් ගායකයෙකු පමණක් නොව නළුවෙකු ද වේ. ඔහු යාපනයේ ශාන්ත ජොන්ස් විදුහලේ උසස් පෙළ නිම කිරීමෙන් අනතුරුව ජෝ දේව් ආනන්දගේ පාසනිලා සහ රත්තත්තින් රත්තමේ චිත්‍රපටවල රඟපෑවේය. දමිළ බසට දෙබස් කවන ලද ලෙනින් මොරායස්ගේ අබිරහස චිත්‍රපටයේ ‘සුසුදු රැල්ල‘ ගීතය දෙමළ බසින් ගායනා කරමින් නිළි රැජින මාලිනි ෆොන්සේකා සමඟ නර්ථන ජවනිකාවක් ඉදිරිපත් කළේ ඔහුය. ‘මරුවා සමඟ වාසේ‘ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් සමඟ ‘තෝසේ මසාල වඩේ‘ ගීතයට රංගනයක් ද ඉදිරිපත් කළේය.

ඉන්දියාවේ තිරගත වූ Thee  නැමැති ද්‍රවිඩ චිත්‍රපටයේ රැජිනි කාන්ත් සමඟ රඟපෑමට ඔහුට වාසනාව හිමිවිය.

පයිලට් ප්‍රේමනාත්ට උඩරට මැණිකේ

1978 තිරගත වූ පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටයට ගීතයක් ගායාන කිරීමට ඔහුට අවස්ථාව උදා විණි. මේ සඳහා ඔහු තෝරා ගත්තේ අපේ සිංහල ගීතයක් වන උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ ගීතයයි. මෙම ගීතයේ මුල් ගායනය සී.සී. ෆොන්සේකා සමඟ ඇන්ජලින් ගුණතිලකය. උඩරට මැණිකේ තනුවට මනෝහරන් දමිළ බස යොදා පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයට ගීතය ගායනා කළේය. ඔහු සමඟ සහාය ගායනයට එක් වුයේ එල්.ආර්.ඊශ්වරීය.

 

ආචාර්ය උපාධියක්

මනෝහරන් උගතෙකි. මිත්‍රශිලී පුද්ගලයෙකි. ඔහු කලා විෂය ධාරාවෙන් උපාධිය හැදැරුවේ ඉන්දියාවේදීය. මනෝහරන් සංගීත ක්ෂේත්‍රයට කළ සේවාව අරභයා ඔහුට කලා භූෂණ සම්මානය පිරි නැමිණි. කැනඩාවේ OTAVA  විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද පිරි නැමිණි.

 

BBC නිවේදකයෙක්

මනෝහරන්ගේ පියා ඇන්තනි පිල්ලේ විදුහල්පතිවරයෙක් වන අතර මව ගුරුවරියකි. බගවන්තලාව මනෝහරන්ගේ නිජ බිමයි. ඔහු රෝමාණු කතෝලික ආගම ඇදහූ පුද්ගලයෙකි. බගවන්තලාව Holy Rosary  විදුහලේ නිර්මාතෘ මනෝහරන්ගේ පියා වන ඇන්තනි පිල්ලේය. දරුවන් 2000කට වැඩි සංඛ්‍යාවක් ඉගෙනුම ලබන මෙම පාසලේ උසස් පෙළ දක්වා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙයි. අදටත් පාසලේ නිර්මාතෘ ලෙස ඔහුගේ නම සඳහන් වී ඇත. මනෝහරන් BBC හී දමිළ නිවේදයකු ලෙස ද කටයුතු කළේය.

 

විවාහය

1972 වසරේ මනෝහරන් විවාහ විය. ඔහුගේ අත ගත්තේ ද බගවන්තලාවේ දෙමළ විදුහලේ විදුහල්පතිනියව සිටි ලීමා තෙරේසාය. ඔවුන්ට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටි. දරුවන් විවාහ වී ඇති අතර ඔවුන්ට ද දරුවන් ඇත.

 

වකුගඩු ආබාධය

මනෝහරන් වකුගඩු ආබාධයකින් පෙළුණේය. ඔහු ප්‍රතිකාර ගත්තේ ඉන්දියාවේ චෙන්නායි ප්‍රසාද් රෝහලේය. ඔහු සතු නිවෙසක් චෙන්නායි හී තිබු බැවින් ප්‍රතිකාර සඳහා ඔහුට යොමු වීමට පහසු විය. සතියකට දෙවතාවක් බැගින් රුධීර කාන්දු පෙරණය (ච්ඪචතරඵඪඵ) කිරීමට ඔහුට සිදුවිය. මහඇමතිව සිටි ජයලලිතා විසින් ප්‍රතිකාර සඳහා රක්ෂණ ආවරණයක් ඔහුට ලබාදුනි. වසර 5ක් පුරා රුධිර කාන්දු පෙරණය සිදු කළ ද ඔහුගේ තත්ත්වය එන්න එන්නටම දුර්වල විය. අවසානයේදී 2018 ජනවාරි 22 ඔහු මෙලොවින් සදහටම සමුගත්තේය. සමුගන්නාවිට ඔහුට වයස අවුරුදු 73කි. තම පුතුණුවන් සමඟ මනෝහරන් ගේ බිරිඳ ලීවා තෙරේසා මනෝහරන්, අද වෙසෙන්නේ බගවන්තලාවේය.