බොලිවුඩයේ නව රැල්ල

ඔක්තෝබර් 14, 2021

විකී කෞෂාල් සහ සාරා අලි ඛාන් මේ වන විට බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින තරු යුගලකි. ඔවුන් නුදුරේදී ප්‍රථම වරට තිර අවකාශය බෙදා ගැනීමට සැරසේ. මේ දෙදෙනා අධ්‍යක්ෂ ලක්‍ෂ්මන් උටේකර්ගේ ඊළඟ ප්‍රේමණීය - හාස්‍යමය චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇත. පසුගිය කාලයේ ලක්‍ෂ්මන් උටේකාර් ජනප්‍රිය වූයේ ඔහුගේ 'ලූකා චුපි' සහ 'මිමි' චිත්‍රපට සඳහා ය.

උටේකාර්ගේ නව චිත්‍රපටය සමාජ පණිවිඩයක් සහිත කුඩා නගර කතාවකි. පසුගිය කාලයේ 'ටොයිලට් : ඒක් ප්‍රේම් කතා', 'පෝස්ටර් බෝයිස්', 'පෑඩ් මෑන්' වැනි බොලිවුඩ් චිත්‍රපට බිහි වූයේ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය වෙනුවෙනි. අනතුරුව 'සූයි ධගා' චිත්‍රපටයට පදනම් වූයේ 2014 වසරේදී ඉන්දීය රජය විසින් ආරම්භ කළ 'මේක් ඉන් ඉන්දියා' වැඩසටහනයි. එය ඉන්දියාවේ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ආර්ථික උපාය මාර්ගයක් විය.

ඒ අනුව මේ නව චිත්‍රපටය 'සැමට නිවාස' යන අදහස ඇතිව 2015 වසරේදී අග්‍රාමාත්‍ය අවාස් යෝජනා ක්‍රමය පසුබිම ලෙස භාවිත කරමින් වැදගත් පණිවිඩයක් සැහැල්ලුවෙන් මුදාහැරීමට නිෂ්පාදකයෝ උනන්දු වෙති. 'සැමට නිවාස' යන අදහස ඇතිව ආරම්භ කළ අවාස් නිවාස යෝජනා ක්‍රමයෙන් අඩු ආදායම් ලාභී පවුල්, මධ්‍යම ආදායම් ලබන කණ්ඩායම් සහ ආර්ථික වශයෙන් දුර්වල කොටස්වලට අයත් පුද්ගලයන් සඳහා පරිසර හිතකාමී නිවාස ඉදිකරදීම අරමුණ වේ. ඒ අනුව තමන්ට නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් තරුණ යුවළකගේ වැඩපිළිවෙළ කෙසේද යන්න මේ චිත්‍රපටය ඔස්සේ විවරණය වනු ඇත. මෙහි විවාහක තරුණ යුවළ වන්නේ විකී කෞෂාල් සහ සාරා අලි ඛාන්ය. එය සාරාගේ සුවිශේෂී සිනමා අවස්ථාවකි.

බොලිවුඩ් පුවත් අනුව මේ චිත්‍රපටය මුලින්ම ඉදිරිපත් කළේ ආයුෂ්මාන් කුරානාට ය. කොරෝනා වසංගතය හේතුවෙන් නිර්මාණ කටයුතු අඩපණ වී තිබූ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් 15 දා උත්තර් ප්‍රදේශ්හි උජ්ජයිනි සහ ග්වාලියර් හිදී ආරම්භ කිරීමට නියමිතය.