අංක තහඩු ගැටලුව

ඔක්තෝබර් 14, 2021

‘ශර්ෂා’ ඇතැම් විට වසරේ මෙතෙක් ජනප්‍රිය වූ චිත්‍රපටය විය හැකි බව විචාරකයන්ගේ අදහස වී ඇත. කාගිල් රණවිරුවා වූ කැප්ටන් වික්‍රම් බත්‍රාගේ චරිතය පදනම් කරගත් මේ චිත්‍රපටය තිරගත වූ විගස ජනප්‍රිය වූ අතර එය ප්‍රේක්‍ෂකයන්ගේ ආකර්ෂණයට මෙන්ම විචාරකයන්ගේ පැසසුමට ලක් විය. කෙසේ වෙතත්, මේ චිත්‍රපටය සමඟින් සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කියාරා අද්වානි දැන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. එයට හේතුව චිත්‍රපටයේදී කාශ්මීර මාධ්‍යවේදියෙකුට අයත් මෝටර් රථයක අංක තහඩුව භාවිත කිරීමයි. චිත්‍රපටයේදී එම අංක තහඩුව සහිත මෝටර් රථය සටන්කාමියෙකුට අයත් යැයි නිරූපණය කර ඇති අතර ඒ නිසා ඔහුගේ ජීවිතය අනතුරේ හෙළන බව මාධ්‍යවේදියා චෝදනා කර සිටී.

"එය මට සහ මගේ පවුලට තර්ජනයක්. මේ හේතුවෙන් දැන් ආරක්ෂාව ගැන සැකයක් දැනෙන බැවින් මට එම මෝටර් රථයේ ගමන් කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එහි ලියාපදිංචි අංකය භාවිත කිරීමට මම කිසිදු නිෂ්පාදන ආයතනයකට අවසර දී නැත. එය මගේ මෝටර් රථය. මම දැන් තීරණය කළා මුළු රට පුරාම චිත්‍රපටය විකාශනය කිරීම නැවැත්වීම සඳහා ධර්මා චිත්‍රපට ආයතනයට එරෙහිව සටන් කිරීමට. ඔවුන් මගේ මෝටර් රථය සහ එහි ලියාපදිංචි අංකය චිත්‍රපටයේ භාවිත කළා. මම ඒ නිෂ්පාදන ආයතනයට එරෙහිව නඩු පවරනවා"යනුවෙන් ෆාස් අෂ්රෆ් නම් කාශ්මීර මාධ්‍යවේදීයා ට්විටර් හි සටහන් කළේය.