වැඩ කිරීමේ රහස

ඔක්තෝබර් 14, 2021

 

රන්වීර් සිං මේ වන විට පුංචි තිරයේ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසින් ගමන් ආරම්භ කර ඇත. එය තමන් හට තරමක් නුහුරු නුපුරුදු කටයුත්තක් වුවද බිරිය දීපිකාගේ සහයෝගයෙන් එය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ඔහු පවසයි. සම්මුඛ සාකච්ඡාවකදී රූපවාහිනී වැඩසටහනක් දියත් කිරීමට දීපිකා ඔහුට උදවු කළා මෙන්ම රූපවාහිනී ව්‍යාපෘතිය භාර ගන්නා ලෙස බල කළා දැයි ඇසූ විට රන්වීර් ආඩම්බරයෙන් මෙසේ පැවසුවේය. "ඇය ප්‍රශ්නාවලිය ගැන හොඳ කරුණු මතු කළා. මම ඒවා සැලකිල්ලට ගත්තා. ඇය මට නිර්මාණාත්මක විවේචන ලබා දීමෙන් මගේ වැඩ කටයුතු වැඩිදියුණු කළා. මගේ නිර්මාණශීලීත්වයේ පුවරුව ඇයයි. බොහෝ විට අපි අපේ වැඩ කටයුතු, මගේ දේ සේම ඇගේ වැඩ කටයුතු ගැනත් සාකච්ඡා කරනවා".

රන්වීර් මෙසේ ද පැවසීය. "කලාව, ප්‍රසංග වැනි දේ පිළිබඳව මෙතරම් හොඳ අවබෝධයක් ඇති බිරියක සිටීම ගැන මම ඇත්තෙන්ම කෘතඥ විය යුතුයි. ඇය මට උපදෙස් ලබා දී මම ඒ අනුව වැඩ කරමින් සිටිමි. මට හොඳීන් රැකියාව කිරීමට ඇති හැකියාවේ රහස ඇයගේ ආදරය හා සහයෝගයයි". 1983 දී ඉන්දියාව ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණය ප්‍රතිනිර්මාණය කළ කබීර් ඛාන්ගේ '83' මෙන්ම රෝහිත් ෂෙට්ටිගේ 'සර්කස්' චිත්‍රපටය සහ 'සූරියවංශි' යන චිත්‍රපටවලින් රන්වීර් ඉක්මනින් දැක ගත හැකිවනු ඇත. ඊට අමතරව ඔහු දිව්‍යනග් තක්කාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ජයේෂ්භායි ජෝර්දාර්' හි චරිතය සඳහා සූදානම් වෙමින් සිටී.