කන්ගනාගෙන් ආලියාට දෝස් මුරයක්

ඔක්තෝබර් 14, 2021

 

කන්ගනා රනවුත් සහ ආලියා භාත් අතර හිතවත්කම බිඳී ගියේ මීට වසර කිහිපයකට පෙරදීයි. එයට හේතුව 'මනිකර්ණිකා' චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට බලාපොරොත්තු වුණු කිහිප දෙනෙකුගේ උපකාර නොලැබීමයි. ඒ පිරිස අතරට ආලියාත් ඇතුළත් වූවා.

සම්මුඛ සාකච්ඡාවකදී කන්ගනා ඒ සම්බන්ධයෙන් ආලියා වෙත එක එල්ලේම චෝදනා කර සිටියා. ඇයගේ 'රාසි' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතුවලට තමා උපකාර කළත් ආලියා වැනි කර්මාන්තයේ බොහෝ දෙනා තමන්ගේ චිත්‍රපටයට උපකාර නොකර මඟහැර සිටි බව එහිදී කන්ගනා චෝදනා කර සිටියා.

පසුගිය දිනෙක යළිත් කන්ගනා ආලියා වෙත චෝදනාවක් එල්ල කළා. එයට හේතු වූයේ ආලියා පෙනී සිටි වෙළෙඳ දැන්වීමක්. ආලියා පෙනී සිටියේ ඉන්දියාවේ ප්‍රමුඛ සැමරුම් ඇඳුම් වෙළෙඳ නාමයක් වන මන්යාවර් වෙනුවෙන් වූ මනාලියක ලෙසිනි. ආලියා මන්යාවර්හි සන්නාම තානාපතිනියකද වූවාය. එහි සම්ප්‍රදායික හින්දු මනාලියක වෙනුවට වෙනස්කම් සහිතව නූතන මනාලියක ලෙසින් ආලියා හැඩගැන්වී සිටීම කන්ගනාගේ උදහසට ලක් වූවා. ඇය ඉන්ස්ටග්‍රම් සටහනක් තබමින් ආලියා සහ මන්යාවර් හට දැඩි ලෙස චෝදනා කර තිබුණා. "දේවල් විකිණීම සඳහා ආගම භාවිත නොකරන්න. හින්දු භක්තිකයන්ට අපහාස කිරීම නවත්වන්න" කන්ගනා පවසනවා.