හොලිවුඩ් ගිය ලාංකිකයකුගේ චිත්‍රපටයක් 15 දා එරට තිරයට FREE BY NOON

ඔක්තෝබර් 7, 2021

අමෙරිකාවේ දී ශ්‍රී ලාංකිකයකු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේ මස 15 වැනි දා සිට ලොස් ඇන්ජලීස් නගරයේ ග්ලේන්ඩේල් හි ලයෙම්ලේ සිනමාශාලාවේදී ප්‍රදර්ශනය ආරම්භ වනු ඇත. මේ සිනමාවේදියා ලක්පති විජේසේකරයි. ලක්පති ලොව ඉහළම සිනමා පාසැලක් සේ සැලකෙන කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයයේ සිනමාකරණය හැදෑරුවෙකි. ඔහු විසින් නිර්මාණය කරන ලද 'ෆ්‍රී බයි නූන්' චිත්‍රපටය හාස්‍යෝත්පාදක චිත්‍රපටයකි.

ජෝන් අයිසන්, රැචල් වොංග්, ජස්ටින් හෙරොන්, මෙලිසා හොවෙල් ආදිහු මෙහි චරිත නිරූපණය කරති. මේ මස 21 වැනි දා දක්වා ලොස් ඇන්ජලීස් හි තිරගත වන ෆ්‍රී බයි නූන් එයින් පසු නිව්යෝක්, ටෙක්සාස්, ඇට්ලන්ටාස් වැනි නගරවලද ප්‍රදර්ශනය කරවීමට නිෂ්පාදකයෝ සූදානම්ව සිටිති. මෙහි සම නිෂ්පාදනයෙන් විදර්ශි වගආරච්චි ද, විධායක නිෂ්පාදනයෙන් ලාල් තිලකරත්න ද, සංස්කරණයෙන් ලහිරු විජේසේකර ද දායක ව සිටිති.

කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදි සිසුවකු වන ලක්පති මෙරට දී නිර්මාණය කළ 'බිහයින්ඩ් ද ස්ක්‍රීන්' නැරඹූ බොහෝ දෙනාගේ ප්‍රශංසාව දිනා ගත්තේය. ෆ්‍රී බයි නූන් ලංකාවේ දී ද ළඟදීම තිරගත වනු ඇත.