ටෝකියෝ උලෙළට හඳගමගේ ‘ඇල්බොරාදා’ සංජීවගේ ‘ආසු’ තරග වදී

ඔක්තෝබර් 7, 2021

ලොව මුල් පෙළේ අන්තර්ජාතික සිනමා උලෙළක් ලෙස සැලකෙන ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළට මෙවර ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකක් තරග වදිනු ඇත. ඒ අශෝක හඳගම නිර්මාණය කරන ලද 'ඇල්බොරාදා' සහ සංජීව පුෂ්ප කුමාර විසින් නිර්මාණය කරන ලද 'ආසු' යන චිත්‍රපට යුගලයි. මෙම චිත්‍රපට යුගලම මෙරට සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කර ගැනීම විශේෂයකි. මේ අතරින් ඇල්බොරාදා ටෝකියෝ උලෙළේ අන්තර්ජාතික තරගකාරි අංශයේ තරග වදින අතර ආසු තරග වදිනුයේ ආසියාතික අංශයේය.

ඇල්බොරාදා චිත්‍රපටයට පාදක වනුයේ චිලීයේ මහා කවියා ලෙස සැලකෙන නොබෙල් සම්මාන ලාභී පැබ්ලෝ නෙරූඩා 1929 වසරේ දී පමණ මෙරට ජීවත් වූ කාලයයි. එකල නෙරුඩා චිලි දේශය වෙනුවෙන් ලංකාවේ කොන්සල්වරයා ලෙස කටයුතු කළේය. ඇල්බොරාදා චිත්‍රපටයේ නෙරුඩා ලෙස ස්පාඤ්ඤ නළු ලුයිස් ජේ. රොමරෝසි චරිත මවන අතර ප්‍රංශ නිළි ඈන් සලොන් හා රිතිකා කොඩිතුවක්කු, මැල්කම් මචාඩෝ, ඩොමිනික් කෙලර්, නිමායා හැරිස්, තුසිත ලක්නාත් රංගනයෙන් දායකව ඇත. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුමෙන් ද මෙයට දායක ව සිටිති. සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි ඇල්බොරාදා නිෂ්පාදනය කළේය. ඇල්බොරාදා යන්නෙහි සිංහල අර්ථය දිනයක උදාව යන්නයි.

සංජීව පුෂ්පකුමාර ගේ ආසු චිත්‍රපටයේ උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, ආචාර්ය සෝමරත්න දිසානායක, චාන්දනී සෙනෙවිරත්න, ස්වේතකී වාදිසිංහ, අතුල වේරගොඩ, යසෝධා රසඳුනී, රේණුකා බාලසූරිය ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක ව සිටිති. විශ්වා බාලසූරිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද ආසු හා එක්ව සිටිති. ආසු නිෂ්පාදනය සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර ගෙනි. සංජීවගේ නවතම සිනමා නිර්මාණය වූ ආසු සඳහා පාදක කර ගෙන ඇත්තේ හිටපු කතානායකවරයෙකු වූ කරු ජයසූරිය මහතාගේ දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත අත්දැකීමයි.