මත්ද්‍රව්‍ය චෝදනා සමඟ ශාරුක්ගේ පුත්‍රයා අත්අඩංගුවට

ඔක්තෝබර් 7, 2021

 

 

 

 

බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ 23 හැවිරිදි පුත් ආර්යන් ඛාන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ අත්අඩංගුවට පත් විය. ඒ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නැවක සාදයක් වැටලීම සමඟිනි. ආර්යන් සමඟ තවත් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිසට අයත් වන අතර ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ දියණියක හා පුත්‍රයෙකුද එහි වෙති.

එම වැටලීමෙන් මත් ද්‍රව්‍යයද සොයාගෙන ඇති අතර මත් ද්‍රව්‍ය මිලදී ගැනීම, ළඟ තබා ගැනීම සහ භාවිතය ආර්යන් ඛාන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට ඇතුළත් වේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ කණ්ඩායම සෙනසුරාදා උදෑසන මගීන් ලෙස වෙස්වලාගෙන මුම්බායි සිට ගෝවා බලා යන එම නෞකාවට ගොඩ වී ඇති අතර නැව දියත් කෙරුණු පසු වැටලීම් පෙරවරු 10 ට ආරම්භ වී පස්වරු 2 දක්වා පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

පසුගිය වසරේදී බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් ක්‍රියාත්මක කිරීමට මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය පියවර ගෙන ඇති බවත් සඳහන්ය.

දියණියන් නොමැතිව...

පසුගිය දිනෙක බොලිවුඩයේ බිග් බී හෙවත් අමිතාබ් බච්චන් කළ ඉන්ස්ටග්‍රම් සටහනක් කාගේත් අවධානය දිනාගන්නට සමත් විය.

"දියණියන් නොමැතිව සමාජය, සංස්කෘතිය අඳුරු වනු ඇත" ඔහු ඉන්ස්ටග්‍රම් හි ලිවීය. ලෝක දියණියන්ගේ දිනය වෙනුවෙන් කළ එම සටහනත් සමඟම බිග් බී සිය දියණිය ස්වේතා බච්චන් සමඟ පෙනී සිටි ඡායාරූපයක් ද පළ කළේය.

මේ සටහනට ප්‍රතිචාර දක්වමින් ස්වේතා පැවසූයේ "ඔබට ආදරෙයි තාත්තේ" යනුවෙනි. අමිතාබ්ගේ එකම දියණිය ස්වේතා මීට පෙර මෝස්තර නිරූපිකාවක ලෙසින් කටයුතු කළ අතර කතුවරියක්ද වන්නීය. 2018 දී ඇය සිය කුලුඳුල් කෘතිය ලෙස 'පැරඩයිස් ටවර්ස්' එළිදැක්වීය.

 

 

මුම්බායි මුහුදු වෙරළ

 

ජැක්ලින් ෆර්නැන්ඩ්ස් මනුෂ්‍යත්වය කෙරෙහි දක්වන කාරුණිකත්වයට ප්‍රසිද්ධය. මෑතකදී වීදිවල සිටින අසරණයන්ට උපකාර කිරීම සඳහා ඇය ඉදිරිපත් වූවාය. රුගත කිරීමක් වෙනුවෙන් යන අතරමඟදී ඇය තම මෝටර් රථය නවත්වා මහමඟ සිටි අවශ්‍යතා ඇති අයෙකු හට උදවු උපකාර කළ අවස්ථාවක ඡායාරූප ඇයට මහත් ප්‍රශංසාවක් ගෙන දුන්නේය. මීට පෙර මේ වසර මුලදී, ඉන්දියාවේ කොවිඩ් -19 දෙවැනි රැල්ල අතරතුර වසංගතයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ආහාර පිසීම සහ ආහාර පිරිනැමීමට ඇය දායක වූ අයුරු ද කතාබහට ලක් විය.

පසුගියදා ජැකලින් සිය කණ්ඩායම සමඟ මුම්බායි අපිරිසුදු වෙරළ පිරිසිදු කිරීම ආරම්භ කළාය. 'කරුණාවේ කතා නිර්මාණය කර බෙදා හදා ගැනීම' සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් ආරම්භ කර ඇති ඇය ඒ සමඟ මුම්බායි වෙරළ පිරිසුදු කරන ආකාරය සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කළාය. "අපි ජීවත් වන්නේ එක් වරක් පමණි. අවශ්‍යතාවයෙන් සිටින අනෙක් අයට උදව් කිරීමෙන් සහ අප අවට සිටින අයගේ කාරුණික කතන්දර බෙදා හදා ගැනීමෙන් මේ ජීවිතය වටිනා දෙයක් කර ගනිමු" ජැක්ලීන් පවසන්නීය.

 

 

 

කෑම කතන්දර

 

බොලිවුඩයට පැමිණි තරු දරුවෙකු වන අනන්‍යා පාණ්ඩේ ප්‍රේක්ෂක හිත් දිනාගත් යොවුන් නිළියක්. නළු චන්කි පාණ්ඩේගේ වැඩිමහල් දියණිය වන අනන්‍යාගේ රංගනයන් ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2, ඛාලි පේලී චිත්‍රපටයන් ඔස්සේ දැකගත හැකි වූ අතර ඉදිරියේදී නිකුත් කිරීමට තවත් චිත්‍රපට කිහිපයක්ම පෙළ ගැසී ඇත. මෑතකදී ඇය සිය මාපියන් සමඟ ඉවුම් පිහුම් වැඩසටහනකට සහභාගි වූවාය. එහිදී අනන්‍යා මව පියා ඇතුළු අමුත්තන් වෙනුවෙන් කෑම පිළියෙළ කළාය. ඒ අතරතුර චන්කි පවසා සිටියේ මීට පෙර කිසි දිනෙක ඇය තමා වෙනුවෙන් ආහාර පිළියෙල කර නොමැති බවයි.

අනන්‍යාගේ ආහාර රස බැලීමෙන් පසු චන්කි හෙළි කළේ මීට පෙර අනන්‍යා තමා වෙනුවෙන් 'කතන්දර' පමණක් සකස් කර ඇති බවයි. "අනන්‍යා, ඔබ සුළු වැරැද්දක් කර ඇත්නම් මම ඔබට දොස් නොකියමි. මන්ද එය පරම්පරාගත ගැටලුවක්. විශේෂයෙන් ඔබේ මවගේ පාර්ශවයේ කිසි කෙනෙකු උයන්න දන්නේ නැහැ" චන්කි පැවසූයේ සියල්ලන් සිනහ ගන්වමිනි. තවද විවාහයෙන් පසු බිරිය භාවානා බටර් මිශ්‍ර අමු කුකුළු මස් පිළිගැන්වූ අයුරුද සිහිපත් කළේය. චන්කි සහ භවානා 1998 දී විවාහ දිවියට එළැඹුණේ ටික කාලයක් එකිනෙකා සමඟ ඇසුරු කිරීමෙන් පසුවය. ඔවුන්ගේ පළමු දියණිය අනන්‍යා වන අතර 2005 දී ඔවුන් යළිත් වරක් මව් පදවිය වැලඳ ගත්තේ දෙවැනි දියණිය රයිසා සමඟිනි.

 

 

 

නිර්දේශිත කෘති

 

පොත් කියවීමට දැඩි උනන්දුවක් දක්වන පාඨකයන් පමණක් නොව, යම් ගුණාත්මක කාලයක් පොතක් සමඟ ගත කිරීමේ විනෝදාංශය ඔබ තෝරාගෙන තිබේ නම් ඔබට ඒ වෙනුවෙන් උපකාර කිරීමට බොලිවුඩ් මිතුරෙකු පැමිණ සිටී. අනුපම් ඛේර් ප්‍රකට නළුවෙකු පමණක් නොව කතුවරයෙකු ද වන බව බොහෝ දෙනා දන්නා කරුණක්. 2011 දී ඛෙර් සිය පළමු පොත, "ද බෙස්ට් තින්ග් අබවුට් යූ ඊස් යූ" එළිදැක්විය. 2020 දී ඔහු කොවිඩ් -19 අර්බුදයේ අත්දැකීම් ඇසුරින් "යුවර් බෙස්ට් ඩේ ඊස් ටුඩේ" කෘතිය එළිදැක්වීය. මෑතකදී ඔහු දැඩි උනන්දුවක් දක්වන පාඨකයින් විසින් කියවිය යුතු යැයි සිතූ පොත් කිහිපයක් තෝරා ගත්තේය.

ඔහු සමාජ මාධ්‍ය තුළ නිර්දේශ කළ කුතුහලය දනවන පොතක් වන්නේ සන්දීප් භූතෝරියාගේ "ග්ලෝබල් ඩෙසි" ය. භූතෝරියා මෙම කෘතිය තුළ ඔහු සංචාරය කළ නගරවල ඉන්දියානු ආහාර සොයා ගැනීමේ ගමනක් සඳහා පාඨකයන් කැඳවාගෙන යමින් ඔහුගේ සංචාරක මතකයන් ගැන කියයි. මේ සමඟම ඔහු අනුෂ්කා ධර්ගේ "ටේක් මී හෝම්" සහ නීනා ගුප්තාගේ ස්වයං චරිතාපදානය වන "සච් කහුන් ටෝ" කෘති නිර්දේශ කළේය. අනන්ත් මහදේවන් විසින් රචිත "වන්ස් අපෝන් අ ප්‍රයිම් ටයිම්" යනු අනූපම් ඛේර් සිය සමාජ මාධ්‍ය තුළ කතා කළ තවත් පොතකි. මෙහිදී රූපවාහිනියේ වර්ධනය හා ගුණාත්මක භාවයේ කතාව ඔහුගේම ගමන තුළින් දිගහැරේ. ඛේර් විමසා සිටින්නේ මේ අතුරින් ඔබ මුලින්ම අතට ගන්නේ කුමක්ද? යන්නයි.

 

 

 

පර්වින්ගේ ජීවිතයෙන් වෙබ්කතා මාලාවක්

 

පර්වීන් බාබී හැත්තෑව සහ අසූව දශකයේ මුල් භාගයේ බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දැරූ නිළියකි. ඇගේ පෙනුම ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කළා සේම බොලිවුඩයේ සිටි කාලය තුළ ඇය අමතක නොවන රංගනයන් ඉදිරිපත් කළාය. දීවාර්, අමර් අක්බර් ඇන්තනි, සුහාග් චිත්‍රපට වෙනුවෙන් ද ඇගේ රංගන දායකත්වය ලද අතර අමිතාබ් බච්චන්, රාජේෂ් ඛන්නා, රිෂි කපූර් වැනි නළුවන් සමඟින් රංගනයට වරම් ලැබීය. කෙසේ වෙතත්, ඇය 2005 දී මෙලොවින් සමුගෙන ගියේ බොලිවුඩ් රසික රසිකාවන් කම්පනයට පත් කරමිනි.

සුන්දරත්වයෙන් සහ රංගන කුසලතාවන්ගෙන් හෙබි වුවද ඇය මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලටද ඇබ්බැහි වූවාය. ඒ සමඟ මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන් ඇය අවසන් කාලය ඉතාම අමිහිරිව ගත කර තිබූණේ කිසිවෙකුගේ හවුහරණක් නොමැතිවය. ඇයගේ අකල් වියෝව සිදු වන විය වයස අවුරුදු 55ක් විය. නිවෙස ඉදිරිපිට තෙදිනක් වන තුරු කිරි බෝතල සහ පුවත්පත් එකතුවීමෙන් සැක පහළ වී කළ පරීක්ෂාවකදී පර්වීන්ගේ සිරුර නිවෙසේ ඇඳ මත තිබී හමු වී ඇති අතර ඒ අසල වූ රෝද පුටුවෙන් ඇය එක්තැන් වූ ජීවිතයක් ගත කර ඇති බව හෙළි විය.

දැන් ඇගේ ජීවිතය ඇසුරින් වෙබ් කතා මාලාවක් නිර්මාණය කිරීමට සූදානම් බව අසන්නට ලැබේ. කරිෂ්මා උපාධ්‍යා විසින් රචිත චරිතාපදානයේ අයිතිය නිෂ්පාදක ස්නේහා රාජනී භාරගෙන ඇත. මේ චරිතාපදානය පර්වීන්ගේ ළමා කාලයේ සිට බොලිවුඩයේ ගත කළ කාලය දක්වා විදහා දැක්වේ. එයින් තිරය පිටුපස සිටි කාන්තාව, ඇයගේම අරගල, අවසානයේදී ඇය තනිකම සමඟ කළ සටන ප්‍රේක්ෂකයන් හට දැක ගැනීමට ලැබෙනු ඇත.

බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ 23 හැවිරිදි පුත් ආර්යන් ඛාන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ අත්අඩංගුවට පත් විය. ඒ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නැවක සාදයක් වැටලීම සමඟිනි. ආර්යන් සමඟ තවත් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිසට අයත් වන අතර ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ දියණියක හා පුත්‍රයෙකුද එහි වෙති.

එම වැටලීමෙන් මත් ද්‍රව්‍යයද සොයාගෙන ඇති අතර මත් ද්‍රව්‍ය මිලදී ගැනීම, ළඟ තබා ගැනීම සහ භාවිතය ආර්යන් ඛාන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට ඇතුළත් වේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ කණ්ඩායම සෙනසුරාදා උදෑසන මගීන් ලෙස වෙස්වලාගෙන මුම්බායි සිට ගෝවා බලා යන එම නෞකාවට ගොඩ වී ඇති අතර නැව දියත් කෙරුණු පසු වැටලීම් පෙරවරු 10 ට ආරම්භ වී පස්වරු 2 දක්වා පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

පසුගිය වසරේදී බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් ක්‍රියාත්මක කිරීමට මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය පියවර ගෙන ඇති බවත් සඳහන්ය.