සරසවිය සම්මාන දිනූ සමන්තා ඈපාසිංහ සමුගනී

ඔක්තෝබර් 7, 2021
 සේයාරුව - දයාන් විතාරණ

 

 

වසර ගණනාවකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වූ අසල්වැසියෝ අතිශය ජනාදරය දිනා ගත් ටෙලි වෘත්තාන්තයක් විය. නිළියක් වීමේ අභිලාෂයෙන් දඟලන පවුලේ දෙවැනි දියණිය වූ කුමාරිගේ රංගනය එකල බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර විය. එහි කුමාරි නම් චරිතය නිරූපණය කළ ඇය නමින් සමන්තා ඈපාසිංහ යි. පසුව සරසවිය සිනමා උලෙළෙහි නැඟී එන නිළිය සම්මානය දිනා ගන්නට ඇය වාසනාවන්ත වූයේ ‘රජෙක් වගේ පුතෙක්’ චිත්‍රපටයේ රංගනය උදෙසාය. අනූව දශකයේ මුල සිනමාවට පිවිසි අලුත් සිනමා තාරකාවන් අතර කුසලතා පළ කළ නිළියක වූ සමන්තා ඈපාසිංහ ඉන් අනතුරුව දිගු කලක් ක්ෂේත්‍රයෙන් ඈත්ව විදේශගත වූවාය. 1967 වසරේ අප්‍රෙල් මස 11 වැනි දින උපත ලද සමන්තා මිය යන විට 54 වැනි වියේ පසුවූවාය.

පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඉගෙනුම ලැබූ සමන්තා සිය කලා කුසලතා පළ කරන ලද්දේ පාසැල් වියේදීමය. දයාසේන ලියනගේ යටතේ නැටුම් කලාව හැදෑරු ඇය ඔහුගේ 'මුහුද' මුද්‍රා නාටකයෙහි ප්‍රධාන චරිතය රඟපෑවාය. ඇය ටෙලිවිෂන රංගනයේ අත්පොත් තබනුයේ ලූෂන් බුලත්සිංහල හා බන්දුල විතානගේ ගේ හඳුන්වාදීමෙන්ය. ඒ යතුරු ලේඛිකාවක් ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයට පිවිසීමෙනි. ඉන් පසු මවකගේ ගීතය, නොමැරෙන මිනිස්සු වැනි ටෙලි නාට්‍ය රැසක ඇය විවිධ චරිත නිරූපණය කළාය.

ඇය සිනමාවට පිවිසියේ 1990 වසරේ තිරගත වූ 'වලව්වේ හාමු' චිත්‍රපටයෙනි. ඩී.බී.නිහාල්සිංහයන්ගේ කෙළිමඩල චිත්‍රපටයේ ඇය ජීවන් කුමාරතුංගගේ පෙම්වතිය ලෙස කළ චරිතය කුඩා එකක් වුවත් එයින් ඇය විපුල ඵල නෙළා ගන්නට සමත් විය. සයනයේ සිහිනය, රජෙක් වගේ පුතෙක්, තුන්වැනි ඇහැ, ලොකු දුව, සිහින විමානේ රාජ කුමාරි , විජය ගීතා, මේ වාරේ මගේ, සත්‍යා, පුතුනි මට වාසනා රත්තරන් මිනිහෙක් , ප්‍රෙමිලා වැනි චිත්‍රපටවල ඇය කැපී පෙනෙන චරිත නිරූපණය කළාය. ඇයගේ සිනමා ජිවිතය දශකයකට සීමා වූයේ එයින් පසු ඇය විදෙස්ගත වීම නිසාය.

ආන්දෝලනාත්මක ඡායාරූපයකට පෙනී සිටිම නිසා ඇයගේ ජීවිතයට බෙහෙවින් ගැටලු ඇති විය. දශක දෙකකට පසු ඇය යළි මෙරටට පැමිණෙන විට ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය ඇයට දැඩි පීඩාවක් ගෙන දෙමින් තිබිණ. වකුගඩු රෝගය ඇතුළු රෝග ගණනාවකට ඇයට ප්‍රතිකාර අවශ්‍යව තිබිණ. කෙසේ හෝ ඇය අවසන් ගමන ගියේ කොවිඩ් රෝගය වැලඳීමෙන්ය.