පියෙකුගේ සතුට

සැප්තැම්බර් 9, 2021

දරුවන්ගේ සාර්ථකත්වයේ වැඩිම සතුට ලබන්නේ මව්පියන්ය. දරුවන් තමන්ට වඩා ඉහළ තැනකට පැමිණීම සෑම මවකගේම පියෙකුගේම එකම පැතුමයි. ජැකී ෂ්රොෆ් එලෙසින් තම පුතු ගැන සතුටු වන පියෙක්. ටයිගර් ෂ්රොෆ් මෑතකදී මුම්බායිහි නිවෙසක් මිලදී ගත් අතර ඒ ගැන වඩාත් සතුටු වන්නේ ඔහුගේ පියා වන ජැකී ෂ්රොෆ් ය. ජැකී ෂ්රොෆ් මෑතකදී දිනපතා පුවත්පතක් සමඟ සාකච්ඡාවකදී තම සතුට ප්‍රකාශ කළේය. ටයිගර් එම නිවෙස මිලදී ගෙන තිබෙන්නේ තම මව, අයේෂා ෂ්රොෆ් වෙනුවෙන්. ටයිගර් ළඟඳීම තම මව, පියා සහ සහෝදරිය, ක්‍රිෂ්ණා සමඟ නව නිවෙසට යාමට සූදානම්. ජැකී ෂ්රොෆ් පවසන්නේ ටයිගර් සිනමාවට පිවිසි දා සිට තම මව වන අයේෂා වෙනුවෙන් නිවෙසක් මිලදී ගැනීමට සිහින මැවූ බවයි.

ජැකී පවසන්නේ ටයිගර් පුතෙකු ලෙසින් තම මව වෙනුවෙන් මෙවැන්නක් ඉටු කිරීම ගැන ආඩම්බර වන බවයි. අයේෂාගේ නිෂ්පාදනයක් වූ බූම් චිත්‍රපටයේ අසාර්ථකත්වයෙන් පසු ජැකී හට ඔවුන්ගේ නිවෙස විකුණා සියලුම ණය ගෙවා දැමීමට සිදු වූ අතර ටයිගර් එකල කුඩා දරුවෙකු විය. තම ආදරණීය බිරිය අයේෂා සහ ඔහුගේ මිත්තණියන් දෙදෙනා විසින් ටයිගර් ඇති දැඩි කළ බැවින් ඔහුගේ හැදී වැඩීම සඳහා තමාගේ කිසිදු දායකත්වයක් නැති බව ද ජැකී පැවසීය. "මම නිතරම රංගනය වෙනුවෙන් බැහැරව සිටි නිසා ඔහුව ඇති දැඩි කළේ ඔවුන් තිදෙනා විසිනි. මම ආපසු එන සෑම අවස්ථාවකදීම ඔහුව ආදරයෙන් රැකබලා ගත්තද මට ඔහුව නරක් කිරීමට නොහැකි වීම ගැන සතුටු වෙමි" ජැකී පවසන්නේය.