ඛාන්ගෙන් තුති

සැප්තැම්බර් 9, 2021

පසුගිය කාලය පුරා බොලිවුඩයේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ බොහෝ පුවත් නිවේදනය විය. මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට චෝදනා කරමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අර්මාන් කෝලි ඒ සම්බන්ධ මාතෘකාවක් බවට පත් විය. චිත්‍රපට සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ වෘත්තීය ජීවිතයේ අතපසු වීම් හා සාර්ථකවීම් තිබුණ ද ඔහු වෙනුවෙන් ගෞරවය හා ස්තූතිය හිමි වූයේ වෙන කිසිවෙකුගෙන් නොව බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් ගෙනි.

එයට හේතුව අර්මාන්ට අහිමි වූ චිත්‍රපට රාශියක් ශාරුක් හට හිමි වීමයි. 'දීවානා' චිත්‍රපටය වෙනුවෙන් මුල් තේරීම වී තිබෙන්නේ අර්මාන්ය. එහෙත් ඔහු එයින් ඉවත් විය. අනතුරුව එම භූමිකාව ශාරුක් ඛාන් විසින් භාර ගන්නා ලදී. පැරැණි සම්මුඛ සාකච්ඡාවකදී ඒ ගැන කතා කරමින් අර්මාන් පවසා තිබුණේ, අපේ අතීතය ගැන සිතන්නට පටන් ගත්තොත් අපේ ජීවිතය අපායක් වනු ඇති බවයි. ඔහුට 'දීවානා' අහිමි වූ බවත් ශාරුක් ඛාන් එය ලබා ගත් බවත් ඔහු පැවසීය. ශාරුක් වරෙක ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී අර්මාන් හට ගෞරවය ලබා දෙමින් ඔහුට ස්තූති කළේය. තමා ජනප්‍රිය තරුවක් වීමට අර්මාන් කෝලි වගකිව යුතු බව ශාරුක් එහිදී පැවසීය. 'දීවානා' චිත්‍රපටයේ දිව්‍යා භාරතී සමඟ පෙනී සිටි පෝස්ටරය තවමත් තමා ළඟ සුරැකිව තිබෙන බවත් ශාරුක් හෙළි කළේය.