චරිතාපදාන සිහිනය

සැප්තැම්බර් 9, 2021

 

ක්‍රිති සනොන්ගේ ඉදිරි චිත්‍රපට කිහිපයක් පෙළ ගැසී ඇති අතර ඇය මවක ලෙස රඟපෑ මිමී සමඟ ඉහළ ජනප්‍රියත්වයට පත් විය. ක්‍රිතී ලද සාර්ථකත්වය සමඟ සියලු දෙනාගේම අවධානය යොමු වී ඇත්තේ ඇයගේ ඊළඟ පියවර ගැන ය. මෑතකදී ඇය සිය චිත්‍රපට පැතුම් ලැයිස්තුව ඉදිරිපත් කළාය. ක්‍රිතී පවසන්නේ, චරිතාපදානයන් කිරීමට තමා දැඩි උනන්දුවක් දක්වන බවයි. තමාගේ ප්‍රියතමයා, මධුබාලාගේ චරිතාපදානයේ රඟපාන්නට කැමති බවත් මෙම ලැයිස්තුවට මීනා කුමාරි ද ඇතුළත් බවත් පවසන්නීය.

ඇගේ සිහින හා අභිලාෂයන් ගැන කතා කරමින් ඇය කියා සිටියේ, බොලිවුඩයේ පෞරුෂයන් නිරූපණය කර තිබුණද ඇතැම් ජීවිත ගැන මිනිසුන් එතරම් නොදන්නා වග දැනෙන බවයි. "එහෙත් ජනතාව ඔවුන් ගැන දැන සිටිය යුතුයි. මධුබාලා හැර, මීනා කුමාරිගේ චරිතාපදානයේ රඟපාන්නට මම කැමතියි. පෞද්ගලිකව මම ඔවුන් ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතියි " ඇය පවසන්නීය. ක්‍රිති සනොන් මීට පෙර චරිතාපදානයක කොටස් කරුවෙකු වී නැත. ඇය ප්‍රභාස් සමඟ ආදිපුරූෂ්, ටයිගර් ෂෙරොෆ් සමඟ ගන්පත්, වරුන් ධවාන් සමඟ භේදියා, ආක්ෂේ කුමාර් සමඟ බච්චන් පාණ්ඩේ සහ ෂෙසාඩා සඳහා සම්බන්ධ වීමට නියමිතය.