‘ඔබ දුටු දා’ හැදූ ශිවානන්දන් මියයයි

ජූලි 29, 2021

අයිරාංගනී සේරසිංහ මුල්වරට හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලද 'ඔබ දුටු දා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද එස්. ශිවානන්දන් පසුගිය 20 වැනි දින කැනඩාවේ දී අභාවප්‍රාප්ත විය. යාපනයේ උපන් ශිවානන්දන් එහි හින්දු විදුහලේ ඉගෙනුම ලැබීය. එහි ඔහුගේ සිංහල ගුරුවරයාව සිටියේ සාගර පලන්සූරිය කිවිඳුය. පසුව සිනමාස් සමාගමේ ප්‍රචාරක නිලධාරියකුව සේවය කළ ශිවානන්දන් කලක් චිත්‍රපට සංස්ථාවේ ද සේවය කළේය. ඔහු නිර්මාණය කළ එකම චිත්‍රපටය වූ 'ඔබ දුටු දා' නිෂ්පාදනය කරන ලද්දේ සිනමාස් සමාගම වෙනුවෙන් කේ.ගුණරත්නම්ය. දැනට වසර කිහිපයකට පෙර නිවාඩුවකට ලංකාවට පැමිණි ඔහු එවර මෙරට සිටි බොහෝ හිතවතුන් මුණ ගැසුණ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යුවළ ඒ අතර විය. සීමාසහිත සිනමාස් සමාගම වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද ජීවතුන් අතර සිටි එකම ලාංකිකයා ද ශිවානන්දන්ය. සිනමාස් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතර ජීවත්ව සිටිනුයේ ද ඉන්දියානු සිනමාකරු කේ. එස්. සේතුමාධවන් පමණකි. ශිවානන්දන් ගේ දියනිය විවාහ වී සිටිනුයේ මුල්ම කථානාද චිත්‍රපටය නිපද වූ එස්.එම්. නායගම් මහතාගේ මුණුබුරෙකු සමඟය.